WILL LTTE RETURN ? - කොටි යළි එනවා




"කොටි යළි එනවා"
- එරික්‌ සෝල්හයිම්

* ප්‍රභාකරන්ගේ මවගේ අවමඟුලට සහභාගි වූ
එන්.ජී.ඕ.කාරයෙක්‌ එන්.ජී.ඕ. මාධ්‍ය උළෙලේදී සම්මාන පිළිගන්වයි

* නෝවීජියානු බුද්ධි සේවාවට තොරතුරු සපයන
ශ්‍රී ලාංකිකයන් කණ්‌ඩායමක්‌

* රජයේ වැටුප් ලබන යාපනයේ මහාචාර්යවරු
ඇතුළු 98 ක්‌ ස්‌වයංපාලනය ඉල්ලති

* රාජ්‍ය රහස්‌ දැන ගැනීමට තොරතුරු දැන ගැනීමේ පනත
ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලූ එන්.ජී.ඕ. ජාලය කලබලයට පත්වේ.

* ශ්‍රී ලංකාවේදී මාව මරන්න හැදුවා යෑයි සෝල්හයිම්
වසර 12 කට පසු කියයි

* චීන්නු තලේමන්නාරමට ඇවිල්ලා යෑයි කරුණානිධි පවසයි



"කොටි යළි එනවා" යෑයි කොටින්ගේ අතිජාත මිත්‍රයා වූ එරික්‌ සෝල්හයිම් දැන් යළිත් වරක්‌ කියා සිටී. පසුගිය ජුලි 26 වැනිදා නෝර්වේහි පළවන ආප්ටන්පෝස්‌ටන් පුවත්පත සමග සාකච්ඡාවක්‌ පැවැත්වූ සෝල්හයිම් ශ්‍රී ලංකා රජයට අනතුරු අඟවමින් ද්‍රවිඩයන්ට සම අයිතිය අනිවාර්යයෙන්ම දිය යුතු බවත් තවමත් එම අයිතීන් ලැබී නැති බවත් කියා සිටියේය. මේ අයිතිවාසිකම් නුදුන්නොත් වාර්ගික අර්බුදය යළි ඇති වනවා. එය නව ක්‍රමවේදයක්‌ මත ඇතිවෙයි යෑයි ඔහු තවදුරටත් සඳහන් කළේය.

මෙලෙස සෝල්හයිම් නමැති ෙද්‍රdaහියා ද්‍රවිඩයන්ට දිය යුතු සම අයිතීන් යෑයි කියන්නේ කුමක්‌ද? ඒ ස්‌වයංපාලනය උතුරු නැගෙනහිර ඉඩම් හා පොලිස්‌ බලතල ඇතුළු සියලු බලතලයි.

එසේම ශ්‍රී ලංකාවේ සිංහල අන්තවාදීන් තමා 2000 වසරේ මැයි මස ශ්‍රී ලංකාවට පැමිණි අවස්‌ථාවේදී ඝාතනය කිරීමට උත්සාහ කළ බව සෝල්හයිම් කීවේය.

මේ ඝාතන සැලසුමට අදාළ අනතුරු ඇඟවීම නෝවීජියානු ආරක්‍ෂක සේවාවෙන් ලැබුණ බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

නෝවීජියානු ආරක්‍ෂක සේවාව හෙවත් එන්.පී.එස්‌. ආයතනයට එකී ඝාතන සැලසුම ගැන තොරතුරු දැනුම්දී ඇත්තේ වෙනින් කවුරුත් නොව ශ්‍රී ලංකාවේ රැඩිකල් කණ්‌ඩායම ගැන දන්නා නෝර්වේහි සිටින පිරිසක්‌ බවද ඔහු හෙළි කළේය.

එරික්‌ සෝල්හයිම් කළ මේ හෙළිදරව්වෙන් පිළිබිඹු වූයේ සටන් විරාමයට එරෙහිව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ දේශපාලන පක්‍ෂ හා කණ්‌ඩායම් ගැන නෝවීජියානු බුද්ධි සේවාවට තොරතුරු සපයන ශ්‍රී ලාංකිකයන් පිරිසක්‌ හා ඔවුන්ගේ ඒජන්තවරු කොළඹ සිටින බවයි.

එහෙත් 2000 මැයි මස 24 වැනිදා සෝල්හයිම් මෙරටින් පිටව යැමට සූදානම් වන අවස්‌ථාවේ කොළඹ නෝර්වේ තානාපති කාර්යාලය වෙත අත්බෝම්බයක්‌ එල්ල විය.

මේ බෝම්බය තමා ඉලක්‌ක කර එල්ල වූවක්‌ දැයි දන්නේ නැතැයි සෝල්හයිම් පළ කළේය.

එහෙත් මේ ඝාතන සැලසුම ගැන 2000 මැයි මාසයේදී කිසිදු ප්‍රකාශයක්‌ නොකළ සෝල්හයිම් ඊට වසර 12 කට පසු තමාව ශ්‍රී ලංකාවේදී මරන්න හැදුවා යෑයි පැවසීම පිළිගත හැකිද?

මෙලෙස ඝාතන සැලසුමක්‌ ගැන හඬ නඟන සෝල්හයිම් දැන් යළිත් කියා සිටින්නේ වන්නි මෙහෙයුමින් කොටි පරාජය වුවත් යලි කොටි එන බවයි.



මේ නෝවීජියානු කොටි හිතවාදියා කොටි යළි එන බව පවසා පැය 24 කට පසු ඔස්‌ලෝ අගනුවරදී කොටි සමුළුවක්‌ පැවැත්විණි. ජුලි 29 වැනිදා තෙක්‌ පැවැත්වුණ මෙම සමුළුවට කැනඩාව, නෝර්වේ, ඩෙන්මාර්කය, ප්‍රංශය, ඉතාලිය, ඕලන්දය, ස්‌විට්‌සර්ලන්තය, ජර්මනිය, බ්‍රිතාන්‍ය සහ නවසීලන්තය යන රටවල කොටි නියෝජිතයෝ සහභාගි වූහ.



අපට සහජීවනයක්‌ ඕනැ නැහැ. අවශ්‍ය වන්නේ එකම විසඳුම ස්‌වෛරී තමිල් ඊළමයි. ඒ සඳහා ජාත්‍යන්තර මැදිහත්වීමකින් යුත් ජනමත විචාරණයක්‌ අවශ්‍යයි. විමුක්‌ති අරගලයේදී මියගිය කොටි සගයන් ගැන අපි සිහිපත් කළ යුතුයි. ද්‍රවිඩ රාජ්‍යය බිහි කිරීම සඳහා අප සැම දෙනා එක්‌සත්ව ක්‍රියා කළ යුතුයි යෑයි රටවල් දහයකට අයත් කොටි සංවිධාන 11 ක පිරිස්‌ එහිදී කියා සිටියහ.

කොටි ඩයස්‌පෝරාවේ කොටි තවදුරටත් ඊළම ඉල්ලන අවස්‌ථාවේ උතුරු නැගෙනහිර වෛද්‍යවරු යාපනය විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් ඇතුළු අනූඅට දෙනෙක්‌ එක්‌වී ද්‍රවිඩ සන්ධානයේ නායක ආර්. සම්පන්දන් වෙත හදිසි සංදේශයක්‌ යෑවීය.

එහි මෙලෙස සඳහන් විය.

1. වත්මන් එකීය ව්‍යවස්‌ථාව සහ පළාත් සභා ක්‍රමය ප්‍රතික්‍ෂේප කරනු, 2. උතුරු නැගෙනහිරි ද්‍රවිඩ නිජ බිමයි. එය එක්‌ කළ යුතුය, 3. ස්‌වයංපාලනය මත වූ ස්‌ථිර දේශපාලන විසඳුමක්‌ ඇති කරගත යුතු අතර ඉන් ද්‍රවිඩ නිජබිම පිළිගත යුතුයි.

ඉහත කී කරුණු නැත්නම් දේශපාලන විසඳුමක්‌ ලබාගැනීමේ තේරුමක්‌ නැත.

මේ සංදේශයට ශ්‍රී ලංකා රජයෙන් වැටුප් ලබන යාපනය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරු හත් දෙනෙක්‌ ද යාපනයේ රෝහලේ වෛද්‍ය නිලධාරීන් පිරිසක්‌ ද කොළඹ ද්‍රවිඩ නීතිවේදීන් දෙදෙනකු මෙන්ම ක්‍රිස්‌තියානි පූජකවරුන් සහ තවත් පිරිසක්‌ ද අත්සන් කර තිබේ.

රජයේ නිලධාරීන් අද එළිපිටම ස්‌වයංපාලනය හෙවත් රට දෙකට කැඩීම සඳහා පෙනී සිටින බව මින් සනාථ වේ.

කොටි පරාජයවීමත් සමගම නිහඬව සිටි මොවුන් ජිනීවාහිදී ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව සම්මතවීමත් සමගම අළු ගසා දමා යළි නැගිට ඇත. මේ පසුබිම යටතේ මන්නාරම රදගුරු රාසප්පු ජෝශප් පසුගිය සිකුරාදා මහර සිරගෙට ගොස්‌ ද්‍රවිඩ සිරකරුවන් වෙත යැම සඳහා කළ ඉල්ලීම ප්‍රතික්‍ෂේප විය.

රායප්පු ජෝශප් රදගුරුට බන්ධනාගාරයේ ප්‍රධාන නිලධාරියාගේ කාර්යාලයේ රැඳී සිටීමට සිදු වුණා යෑයි යුරෝපා කොටි වෙබ් අඩවිය එම ඉල්ලීම ප්‍රතික්‍ෂේපවීම ගැන කම්පනයට පත්වී පළ කළේය.

මේ අන්දමට ඇමරිකානු ගුන්තනාමෝබේ සිරකඳවුරේ සිටින ත්‍රස්‌තයන් වෙත යැමට ඇමරිකානු බලධාරීහු ඉස්‌ලාමීය පූජකයන්ට අවසර දෙන්නේද?

මේ අතර පසුගිය 27 වැනිදා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ඔලිම්පික්‌ උළෙලට සහභාගි වන බවට තොරතුරක්‌ ලන්ඩන්හි කොටි ජාලයට ලැබිණි.

මෙම පුවත ලැබීමත් සමගම ඔලිම්පික්‌ ක්‍රීඩාංගණයට එන ලන්ඩන්හි ඇස්‌පන් මාර්ගයේ රැස්‌වූ කොටි හිතවාදීහු විරෝධතා පුවරු ඔසවමින් කොයි මොහොතේ හෝ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ පැමිණෙන්නේ ද යෑයි පුන පුනා බලා සිටියහ.

එහෙත් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ඔලිම්පික්‌ උළෙලට සහභාගි වන බවට තමන්ට බොරු ආරංචියක්‌ ලැබුණ බව තේරුම්ගත් කොටි හිතවාදීහු එම පුවත විකාශනය කළ ලන්ඩන් නුවර මාධ්‍යවලට බැන වැදුනහ.

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා සහ ආරක්‍ෂක ලේකම්වරයා යුද අපරාධවලට වගකිවයුතු බව දක්‌වමින් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වෙත රහස්‌ ලියවිල්ලක්‌ යෑවූ මෙරට ඇමරිකානු තානාපතිනි පැට්‌රිෂියා බුටේනිස්‌ මෙරටින් සමුගැනීමට පෙර යාපනයට ගියේය.

ඇය යාපනයට ගියේ ඇමරිකානු ශ්‍රී ලංකා ආයතනයක සේවය කළ ශ්‍රී ලාංකික කාන්තාවක්‌ සමගය. "2013 පවත්වන මැතිවරණය ගැන කියන්නේ කුමක්‌ද? රජය ජය ගනීවි යෑයි ඔබලා සිතනවාද?"යෑයි බුටේනිස්‌ යාපනයේ විවිධ පාර්ශ්වයන්ගෙන් විමසුවාය.

එසේම යාපනයේ හිටපු කොටි හමුදා නායක තීපන්ගේ සමීපතම ඥතියා වූ ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී ශ්‍රීධරන්ගේ නිවසේදී උදේ ආහාර ගැනීමට ද ක්‍රියා කළ පැට්‌රිෂියා බුටේනිස්‌ අනතුරුව යාපනය රදගුරු තෝමස්‌ සවුන්දානායගම් හමුවී සුදු වෑන් රථ ගැන විමසා ඇත.

හමුදා නිලධාරීන් ප්‍රසිද්ධ උත්සවවලට සහභාගි වන බවට රදගුරුවරයා එහිදී කියා සිටියේය.

මෙලෙස ශ්‍රී ලංකාවෙන් සමුගැනීමට පෙරත් උතුරේ තත්ත්වය ගැන විමර්ශනය කරන අවස්‌ථාවේ යාපනයේ විශ්වවිද්‍යාලයේ සිවිල් ක්‍රියාකාරියකු යෑයි කියා ගන්නා ගුරුපරන් කුමාරවඩිවෙල් නමැත්තා ද ද්‍රවිඩ සන්ධානය වෙත යෝජනාවක්‌ කරමින් ස්‌වයංපාලනය නමැති අරමුණ ලෝක ප්‍රජාව වෙත දැක්‌වීමට ක්‍රියා කළ යුතු යෑයි පවසා ඇත. මේ අතර පසුගිය ජුලි 28 වැනිදා කොළඹ ගලදාරි හෝටලයේ පැවැති සාක්‌ රටවල මාධ්‍ය වැඩමුළුව අමතමින් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් චරිත හේත් කළ ප්‍රකාශයක්‌ නිසා නෝර්වේ අරමුදල් ලබන මෙරට එන්.ජී.ඕ. ජාලය දැඩි ලෙස කලබලයට පත්විය.

කොළඹ එන්.ජී.ඕ. ජාලය විසින් සකස්‌ කර තිබූ තොරතුරු දැන ගැනීමේ පනත හෙවත් රජයේ සියලු රහස්‌ හෙළි කළ යුතුය යන ඉල්ලීම ජනමාධ්‍ය ලේකම්වරයා විසින් ප්‍රතික්‍ෂේප කළේය.

රටේ ජාතික ආරක්‍ෂාවට බලපාන තොරතුරු හෙළිදරව්වීමට ඉඩ ලැබෙන තොරතුරු දැන ගැනීමේ පනත ක්‍රියාත්මක නොකරන බව හෙතෙම කියා සිටියේය.

මේ ප්‍රකාශයත් සමගම නෝර්වේ රාජ්‍යයේ නෝරාඩ් සංවිධානයෙන් ඩොලර් අරමුදල් ලබන ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය නමැති එන්.ජී.ඕ. කම්පැනියේ පාර්ශ්වයන් මාධ්‍ය ආයතනවලට දුරකථන ඇමතුම් දෙමින් ජනමාධ්‍ය ලේකම්වරයා එසේ කීවේදැයි විමසුවේය.

මෙකී තොරතුරු දැන ගැනීමේ පනත පසුබිමේ සිටින්නේ නෝර්වේ රාජ්‍ය සමග දැඩි හිතවත්කම් පවත්වන හිටපු දේශපාලකයෙකි.

පසුගිය මහා මැතිවරණයේදී ජනතාව ඔහුට නිසි පාඩමක්‌ ඉගැන්වීය. 2002 සටන් විරාම ගිවිසුමට අදාළ රජයේ සාම මහලේකම් කාර්යාලයේ ලියකියවිලි සංරක්‍ෂණය කිරීමත් භාරවී ඇත්තේ මේ හිටපු දේශපාලකයාගේ පාත්පයින්ඩර් නමැති එන්.ජී.ඕ. සංවිධානයටයි. ඒ සඳහා නෝර්වේ නෝරාඩ් සංවිධානය ඩොලර් 33000 ක්‌ ලබාදී තිබේ.

මේ අතර අගෝස්‌තු 12 වැනිදා තමිල්නාඩුවේ චෙන්නායිහිදී කරුණානිධිගේ කොටි සමුළුව පැවැත්වේ. මේ සමුළුවට පෙර කරුණානිධි ප්‍රකාශයක්‌ කළේය. "චීන්නු තලේමන්නාරමට ඇවිල්ලා. තලේමන්නාරමට හා දනුෂ් කොටි මුහුද සමීපයේ චීනුන් හා ශ්‍රී ලංකා නාවික හමුදාව කඳවුරු ඉදිකරනවා. මෙය ඉන්දියාවේ ආරක්‍ෂාවට තර්ජනයක්‌. චීන්නු තලේමන්නාරමට පැමිණීම ගැන අපි ඊළාම් සමුළුවේදී සාකච්ඡාවට ලක්‌ කරනවා"යෑයි කරුණානිධි පළ කළේය.

එහෙත් තලේමන්නාරමට චීන නැවක්‌ හෝ චීන නැවියන් කිසිදු ලෙසකින් පැමිණ නැතැයි හෙළි විය.

මේ පසුබිම යටතේ නෝර්වේ රාජ්‍යයේ ඔස්‌ලෝ අගනුවරදී ශ්‍රී ලංකාවට එරෙහිව සමුළුවක්‌ පැවැත්විණි. මෙම සමුළුවට සහභාගි වූවන් අතර මෙරටින් ජර්මනියට පැනගිය රෝහිත භාෂණ හෙවත් භීෂක නමැත්තා ද විය.

ශ්‍රී ලංකා හමුදාව ද්‍රවිඩ වැසියන්ව මරා දමා ඇතැයි කියමින් ඔහු එහිදී හඬා වැලපුනේය. මේ අතර ඕස්‌ටේ්‍රලියාවට ද්‍රවිඩයන් පැමිණීමේ ජාවාරමේ පසුබිම හෙළිවිය. ඒ ඕස්‌ටේ්‍රලියානු කොටි හිතවාදී සංවිධාන විසින් තමන් ශ්‍රී ලංකාවෙන් ද්‍රවිඩයන්ව ගෙනඒම සඳහා අරමුදල් සපයන බවට සැලසුමක්‌ අගමැතිනි ජුලියා ගිලාඩ්ව ඉදිරිපත් කිරීමයි.

මේ අතර මෙරට සහ විදේශීය රටවල ශ්‍රී ලාංකිකයන් නොදන්නා සිද්ධියක්‌ අපි අද හෙළි කරන්නෙමු. ඒ නෝරාඩ් නමැති නෝවීජියානු අරමුදල් මත යෑපෙන ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය නමැති එන්.ජී.ඕ. කම්පැනිය ප්‍රමුඛ නිදහස්‌ මාධ්‍ය ව්‍යාපාරික ජාලය ඇතුළු ඊට අනුබද්ධ සංවිධාන විසින් ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන යෑයි දක්‌වමින් පැවැත්වූ උත්සවයයි.

මේ එන්.ජී.ඕ. මාධ්‍ය උලෙල සඳහා සහතික පිරිනැමීමට කැඳවා තිබුණේ ප්‍රභාකරන් මිනීමරුවාගේ මවගේ අමඟුලට සහභාගි වූවකු හා කොටින්ගේ ස්‌වයංපාලනය හා ද්‍රවිඩ නිජබිම පිළිගන්නා බවටත් පැවසූ එන්.ජී.ඕ.කාරයන් දෙදෙනෙකි. මෙහිදී ප්‍රභාකරන් ළඟ න්‍යෂ්ඨික බෝම්බ ඇති බවට හා වන්නි යුද මෙහෙයුමට අදාළ රහස්‌ හෙළි කළ පාර්ශ්වයන්ටත් සම්මාන පුද කෙරිණි.

මේ කිසිදු සංවිධානයක්‌ රටේ ජාතික ආරක්‍ෂාවට තර්ජනයක්‌ එල්ලවූ අවස්‌ථාවේ මුනිවත රකිනු ලැබීය. එසේම මේ නෝවීජියානු මාධ්‍ය සම්මාන උළෙල මෙහෙය වූයේ නොබෙල් සම්මාන උත්සවය සඳහා නෝර්වේ ගොස්‌ යළි සාම සාකච්ඡා පවත්වන්නැයි එරික්‌ සෝල්හයිම් ෙද්‍රdaහියාට ඇරයුම් කළ අයෙකි.

නෝරාඩ් සංවිධානය විසින් මෙකී එන්.ජී.ඕ. සම්මාන පිරිනැමූ කම්පැනියට ඩොලර් 685000 ක්‌ ලබාදී තිබිණි. ප්‍රභාකරන්ගේ සමීපතම සගයා වූ තමිල්නාඩුවේ සිටින කාසි ආනන්දන් ද පසුගිය 2 වැනිදා ප්‍රකාශයක්‌ කරමින් මුල්ලිවයික්‌කාල් අරගලය අවසන් වී ඇතැයි කියා සිටියේය. ශ්‍රී ලංකාවේ රජය සහ සිංහලයන් හිතන්නේ අරගලය අවසන් කියලයි. දැන් තමයි අරගලය පටන්ගත්තේ යෑයි ඔහු ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී ශ්‍රීධරන්ගේ සොහොයුරාගේ කොටි වෙබ් අඩවිය අමතමින් පවසා ඇත.

ජර්මනියේ කොටි ජාලය ද මේ සතියේ දිනෙක නොටින්ජන් නගරයේදී ජර්මානු ජනතාව රැවටීමේ මෙහෙයුමක්‌ දියත් කරනු ලැබීය.

ශ්‍රී ලංකා රජය ද්‍රවිඩයන්ව සමූල ඝාතනය කරන බව දක්‌වමින් ජර්මානු කොටි ජාලය විසින් පත්‍රිකා බෙදාහැරීමට ක්‍රියා කෙරිණි.

කීර්ති වර්ණකුලසූරිය


http://www.divaina.com/2012/08/05/defence.html

No comments:

Post a Comment

Please select Anonymous user to post comments, never leave your profile, true name with the comments.