Showing posts with label පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි. Show all posts
Showing posts with label පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි. Show all posts

BEFORE IT IS TOO LATE - පෞරාණික බෞද්ධ උරුමයන් රැක ගනිව්!

පෞරාණික බෞද්ධ සිද්ධස්‌ථාන ප්‍රතිසංස්‌කරණය යළි අරඹමු

වසර දහස්‌ ගණනක්‌ පැරණි ශ්‍රී ලංකාවේ බෞද්ධ උරුමයේ ප්‍රබල සාක්‌ෂි ලෙස සැලකිය හැකි බෞද්ධ සිද්ධස්‌ථානවල නටබුන් ශ්‍රී ලංකාව පුරාම දැකගත හැකිය. ඒවා පුරාවිද්‍යා ස්‌මාරක මිස බෞද්ධ සිද්ධස්‌ථාන ලෙස නීතිගත වී නොමැත. මෙරට බෞද්ධ උරුමයන් තහවුරු කිරීමට කිසිදු උවමනාවක්‌ නැතිදු මෙන්ම ක්‍රිස්‌තියානිය පතුරුවාලීමට වෙර දැරූ ඉංග්‍රීසින් සකස්‌ කළ අණපනත්වල එසේ සඳහන් වුවද ඒවා අපට අවශ්‍ය පරිදි වෙනස්‌ කර ගත යුතුව ඇත.
බුදු දහම ආරක්‌ෂා කර පෝෂණය කළ විශේෂයෙන් ථෙරවාදී බුදු දහමේ මූලස්‌ථානය ලෙස ලෝකය පිළිගන්නා ශ්‍රී ලංකාවෙහි බෞද්ධ උරුමයන් රැකදීමට අවශ්‍ය අණපනත් සකස්‌ නොකිරීම බරපතළ වරදකි. වගකිවයුතු බෞද්ධ නායකත්වය හා පොදු ජනතාව මෙන්ම ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන් බුද්ධ ශාසනය ආරක්‌ෂාකොට පෝෂණය කිරීමට දිවුරා පොරොන්දු වී සිටින ව්‍යවස්‌ථාදායකය එනම් පාර්ලිමේන්තුවද මෙරට බෞද්ධ උරුමය රැකදීමට පියවර ගත යුතුය.

පෙර රජ දරුවන් මෙරට ජනතාව තුළ සැදැහැ සිත් ඇතිවීමට හා සැදැහැතියන්ගේ පහන් සිත් වැඩිවීමට අදාළව ඉදි කළ සිද්ධස්‌ථාන යළි යළිත් ප්‍රතිසංස්‌කරණය කිරීම ඔවුන්ගේ පිළිවෙත විය. අද රමණීය ලෙස දිස්‌වෙන මහියංගනය, රුවන්වැලිසෑය, ථූපාරාමය වැනි දාගැබ් පුරාවිද්‍යා ස්‌මාරක ලෙස තිබුණා නම් ඒවා දැකබලාගෙන සිත් පහන් කර ගැනීමට පිං සිදු කර ගැනීමට හැකිවන්නේ නැත. මහියංගන චෛත්‍යයේ ඉතිහාසය විමසා බලන විට මහින්දාගමනයට ද පෙර ඇරඹූ එය මුලදී පැවැතුණේ ඉතා කුඩාවටයි. හෙළ රජ දරුවන් විසින් වරින් වර එය ප්‍රතිසංස්‌කරණය කිරීමෙන් අද පවතින තත්ත්වයට විශාල වී ඇත. එම පූර්වාදර්ශය අදටත් ක්‍රියාත්මක කළ හැකි මෙන්ම ක්‍රියාත්මක කළ යුතු දෙයකි.

රට පුරා පවතින පුරාවිද්‍යා ස්‌මාරක යෑයි හඳුනාගෙන තහවුරු කර ගෙන තිබෙන බෞද්ධ සිද්ධස්‌ථාන ප්‍රතිසංස්‌කරණයට බාධා වී ඇත්තේ ඉංග්‍රීසීන් විසින් සකස්‌ කළ පුරාවිද්‍යා නීතියයි. ඇතැම් බෞද්ධ නටබුන් එම නීතියට අනුව හෝ හඳුනාගෙන තහවුරු කර නොමැත. එයින් පැහැදිලි වනුයේ මෙරට ඇති අතිශයින්ම වැදගත් නටබුන් පිළිබඳව පුරාවිද්‍යා වගකිවයුත්තන් දක්‌වන නොසැලකිල්ල හා උදාසීනකමයි. එම නීතිය වෙනස්‌කර එම සිද්ධස්‌ථාන යළි ප්‍රතිසංස්‌කරණය කළ යුතුව තිබියදී පවතින ආකාරයෙන් හෝ ආරක්‌ෂා කර ගැනීමට ක්‍රියා නොකිරීම මොනතරම් බරපතළ වරදක්‌ද?
නටබුන්ව ගිය වෙහෙර විහාර කුසගින්නේ ඉදිමින් හෝ නැවත ගොඩනැගිය යුතු බව පැවසූයේ කතෝලික පියතුමකු වූ මර්සිලීනු ජයකොඩි පියතුමාය. "උතුරත් දකුණත් අනෙක්‌ දෙපැත්තත්, වෙහෙරෙන් සුදුවී ඇත නංවා කොත් යම් විට යම් කොත් සුන් වී ඇත හොත් - යළි නංවනතුරු කන්න එපා බත්". එතුමාට වැටහෙන මේ සත්‍යය බටහිරයන්ගේ අණපනත්වලට ගරු කරන බටහිර ගැති මානසිකත්වයක්‌ ඇති එවුන්ට වැටහෙන්නේම නැත.

පැරණි බෞද්ධ සිද්ධස්‌ථාන ප්‍රතිසංස්‌කරණය කරනු තබා ඒවා පවතින ස්‌වරූපයෙන්වත් ආරක්‌ෂා කර තැබීමට ඒ පිළිබඳ වගකිවයුතු යුත්තන්ට උවමනාවක්‌ නැති සේ පෙනේ. විශේෂයෙන් උතුරු නැගෙනහිර ප්‍රදේශ පුරා ඇති පැරණි බෞද්ධ සිද්ධස්‌ථාන විනාශ කර දැමීමේ වැඩපිළිවෙළක්‌ අද ක්‍රියාත්මක වෙයි. ඒවා එලෙසින් විනාශ කර දමනුයේ නිදන් හාරා වස්‌තුව ලබා ගැනීමේ අරමුණින් පමණක්‌ නොවේ. මෙම බෞද්ධ නටබුන් විනාශ කර දැමූ විට බෞද්ධ අයිතියක්‌ කියාපෑමට නොහැකිවන තැනට කටයුතු යෙදීමද මෙම වැඩපිළිවෙළේ අරමුණයි.
අෂ්රොප් ඇමැතිවරයා දීඝවාපී මහා සෑයේ පරිවාර දාගැබක්‌ ඩෝසර් කර දැමීම පිළිබඳව එදා මහත් ආන්දෝලනයක්‌ ඇතිවිය.
පසුගියදා කල්මුණේ ප්‍රදේශයේ මොට්‌ටයාගල අසල පුරාණ නටබුන් විනාශ කිරීම පිළිබඳව සොයා බැලීමට අපි එහි ගියෙමු. මුසල්මානුවන් විසින් සිත් පිත් නැති අය සේ එහි කර තිබූ විනාශය දැක අපේ හදවත් කම්පා වී ගියේය.
එම ප්‍රදේශය පුරා ඇති තවත් බොහෝ නටබුන්ද අපට දැකගත හැකිවිය. ඒවා හඳුනාගෙන දැනට ඇති පුරාවිද්‍යා පනත අනුව හෝ පුරාවිද්‍යා ස්‌මාරක ලෙස තහවුරු කර තැබීමට පුරාවිද්‍යා නිලධාරීන් කිසිදු උනන්දුවක්‌ නොදක්‌වන බව කිව යුතුය. ඔවුන් තම නිදහසට කරුණු ලෙස කියන්නේ අවශ්‍ය මුදල් හා පිරිස නොමැතිකමයි. එහෙත් අපට වැටහෙන හේතුව නම් එය නොවේ. ඒ සඳහා ඔවුන්ට උනන්දුවක්‌ නොමැති කමයි. අන්‍යාගමිකයන් බෞද්ධ නටබුන් විනාශ කරද්දී පුරාවිද්‍යා නිලධාරීහු හොරට නිදා සිටිති.

එම පුරාවිද්‍යා නටබුන් පිළිබඳ වැදගත්කම වටහාගත් අයගේ මගපෙන්වීම මත පොලිසිය විසින් මොට්‌ටයාගල අසල විනාශය කළ වැරදිකරුවන් අල්ලා උසාවියට ඉදිරිපත් කරන ලද නමුත් රුපියල් විසිපන්දහසක දඩයක්‌ ගසා වැරදිකරුවන් නිදහස්‌ කර ඇති බව දැනගන්නට ලැබිණි. "නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ යෑයි" කියන්නේ මෙවැනි දේටයි.
එම විනාශය සිදු කර වැඩි කලක්‌ යන්නට පෙර තිරුක්‌කෝවිල් ප්‍රදේශයේ තවත් පැරණි දාගැබක්‌ විනාශ කර ඇත. ප්‍රදේශයේ මහා සඟරුවන දැක්‌වූ බරපතළ විරෝධතාව හා පොලිසියද නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කිරීම නිසා වැරැදිකරුවන් අල්ලා රක්‌ෂිත බන්ධනාගාරගත කිරීමටත් දාගැබ තුළ තිබී සොයාගත් වටිනා වස්‌තු රාශියක්‌ අත්අඩංගුවට ගැනීමටත් හැකි විය.

බෞද්ධයන් අන්‍යාගමික සිද්ධස්‌ථාන විනාශ කිරීමට නොසිතන්නේ ඔවුන් තුළ නිසඟයෙන්ම ආගමික සහනශීලිත්වය ඇති නිසයි. එහෙත් අන්‍යාගමිකයන් එසේ නොවේ. ඔවුන්ගේ ආගමික ග්‍රන්ථවල දෙවියන්ගේ මුවින්ම සඳහන් වන්නේ අන්‍යාගමික ස්‌ථාන කඩා විනාශ කර දමන ලෙසයි. මොන දෙවියකුගේ වදනක්‌ වුවද එය සදාචාරයට හෝ මනුස්‌ස ධර්මයට එකඟවන්නක්‌ නොවේ. බාමියන් බුද්ධ ප්‍රතිමාවන් විනාශ කළේ ද මෙම ආගමික උන්මත්තකයන් විසිනි.
මෙරට පවතින පෞරාණික බෞද්ධ උරුමයන් රැක දීමට අවශ්‍ය පියවර නොගෙන උතුරු හා නැගෙනහිර පළාත්වල අන්ත ජාතිවාදී හා ආගම්වාදින්ට ඒවා විනාශ කරලීමට ඉඩදී බලා සිටීම රාජ්‍ය තන්ත්‍රයටද සුදුසු පිළිවෙතක්‌ නොවේ. උතුරු - නැගෙනහිර සිදුවෙන මෙම විනාශයට ඉඩ දී බලා සිටියහොත් නොබෝ කලකින් ශ්‍රී ලංකාව දෙකඩ තෙකඩ වී යන තැනකට කරුණු යෙදෙනු ඇත. එය එතනින් නොනැවතී ශ්‍රී ලංකාවේ බෞද්ධ උරුමයත්, ශ්‍රී ලංකාවත් විනාශ වී යන තැනට මග හැදෙනු ඇත.

මෙම විනාශයන් කරනුයේ අන්‍යාගමිකයන් පමණක්‌ නොව බෞද්ධයන් ද නිදන් ගැනීමේ අරමුණින් මෙවැනි දේ කරතැයි සමහරු කියති. එහිදී ඇත්තක්‌ තිබේ. එවැනි විනාශකාරී දේ කරන අය නාමික බෞද්ධයෝ වෙති. ඔවුන් "බුදු සසුන වනසන කඳ පණුවන්" ලෙස හැඳින්විය හැකිය. එවැනි අයගෙන් සසුන රැක ගැනීමද ඉතා අසීරු දෙයකි. සමහරු නිධන් ගැනීමේ මුවාවෙන් බෞද්ධ උරුමයන් විනාශ කරන අතර තවත් අය බුදු පිළිම හා වෙනත් බෞද්ධ පිළිම දුටුවන් තුළ සැදැහැබැති ඇති නොනවන ලෙස ඒවා විකෘති කර නිර්මාණය කර ඇත. ආකර්ෂණීය මතුපිටක්‌ පෙන්වන ඔවුහු ඉතා සූක්‍ෂම ලෙස සාමාන්‍ය බෞද්ධයන් මෙන්ම බලවතුන් හා ධනවතුන් ද නම්මාගෙන කඳපණු වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරති. බුදු සසුනට සිදුවන මෙම විනාශකාරී ක්‍රියාවන් හඳුනාගෙන ඒවා වළක්‌වා බෞද්ධ උරුමයන් මෙන්ම බුද්ධ ශාසනය ආරක්‌ෂා කර ගැනීමට වහ වහා ක්‍රියා කළ යුතුව ඇත. එය ආගමික උමතුවක්‌ නොව අපටද වටිනා ලොවටද වටිනා උතුම් බුදු සසුන රැකදීමක්‌ම වනු ඇත.

පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
දේශප්‍රේමී භික්‌ෂු පෙරමුණේ ලේකම්

OUR DUTY - රට දැය සමය වෙනුවෙන් අප කළ යුත්තේ කුමක්‌ ද?

http://www.divaina.com/2012/05/05/feature.html




සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන්
අප කළ යුත්තේ කුමක්‌ ද?

පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
දේශප්‍රේමී භික්‍ෂු පෙරමුණේ ලේකම්

පසුගිය වසරේ වෙසක්‌ පොහෝ දිනට මෙතෙක්‌ ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා වන ගෞතම බුදුරජාණන් වහන්සේ මනුෂ්‍යත්වය හා දේවත්වය මෙන්ම බ්‍රහ්මත්වය ද ඉක්‌මවා මනස දියුණු කරගෙන බුද්ධත්වයට පත්වී වසර 2600 ක්‌ සපිරුණි. එය අපි 2600 සම්බුද්ධත්ව ජයන්තිය නමින් හැඳින්වීමු. මේ වසරේ වෙසක්‌ පොහොය දක්‌වා වර්ෂය සම්බුද්ධත්ව ජයන්ති වර්ෂය නමින් ද ප්‍රකාශයට පත් කෙරිණි. "2600 සම්බුද්ධත්ව ජයන්තියට පිළිවෙතින් පෙළගැසෙමු" යන පාඨය සහිත තොරණ බැනර් ආදිය රට පුරා ප්‍රදර්ශනය වීමට ද යොදනු ලැබීය. එහෙත් එහි අර්ථය හෝ වැඩි දෙනා නොදනිති. සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් සම්මන්ත්‍රණ, සාකච්ඡා, උත්සව, පිංකම් ආදිය ද රට පුරා සිදු කෙරිණි. අදත් සිදු වෙයි. බුදු උපත බුදුවීම හා උන්වහන්සේගේ පිරිනිවීම සිදුවූ වෙසක්‌ පොහෝ දිනය ලෝකයේ සියලුම බෞද්ධයන්ට වැදගත් වන දිනයකි. ඒ අතර ශ්‍රී ලංකාවාසීන්ට එම දිනය මෙන්ම 2600 සම්බුද්ධත්ව ජයන්තිය ද විශේෂ වශයෙන් වැදගත් වන කරුණු කීපයක්‌ ඇත.

මීට වසර 2600 කට පෙර බුද්ධත්වයට පත් වූ ගෞතම බුදුරජාණන් වහන්සේ බුදුවී නව වැනි මාසයෙහි එනම් දුරුතු පුරපසළොස්‌වක පොහොය දා පළමු වරට අපේ රටේ මහියංගනයට වැඩම කළහ. එදා සිටි පිරිසට දහම් දෙසා උන්වහන්සේ ඔවුන්ට හරි මඟ පෙන්වා දුන්හ. එම දහම් හමුවෙහි දී තවත් කොපමණ පිරිසක්‌ ධර්මාවබෝධය ලැබුවාදැයි නොදනිමු. එහෙත් සුමන නම් දේව ගෝත්‍රිකයා බුදු බණ අසා සෝවාන් ඵලයට පැමිණ පසුව සුමන සමන් දෙවි යන නමින් මෙරට වැසියන්ගේ ගෞරවාදරයට පාත්‍ර විය. මේ කරුණු සිදු වූයේ මීට වසර 2600 කට පෙර බැවින් මෙම සම්බුද්ධත්ව ජයන්තිය අපට අතිශයින්ම ඓතිහාසික වැදගත් සන්ධිස්‌ථානයකි.

ගෞතම බුදුන් වහන්සේ තුන්වැනි වර ලක්‌දිවට වැඩම කළේ බුද්ධත්වයෙන් අටවැනි අවුරුද්දෙහි කැලණි පුරවරයටයි. පළමු හා දෙවැනි වර අප කෙරෙහි අනුකම්පාවෙන් උන්වහන්සේගේම කැමැත්තෙන් වැඩම කළ අතර කැලණියට වැඩම කළේ එදා එම ප්‍රදේශයෙහි ප්‍රධානියාව සිටි මණිඅක්‌ක නම් නාග ගෝත්‍රිකයාගේ ආරාධනාවෙනි. අපේ රටේ කෙනෙකුගේ ආරාධනාවෙන් වෙසක්‌ පුන් පෝ දිනක බුදුරජාණන් වහන්සේ අපේ රටට වැඩම කිරීම වෙසක්‌ පොහොය අපට විශේෂ වැදගත් කමක්‌ ඇති දිනයක්‌ බවට පත් වීමට හේතු භූත වූ කරුණකි.

ඓතිහාසික වශයෙන් තවත් වඩාත් වැදගත් වන කරුණක්‌ ද ඇත. එනම් බුද්ධත්වය ලබා සත් සතිය ගත කරද්දී බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණි තපස්‌සු භල්ලුක යන සහෝදර වෙළෙඳුන්ට පූජා පැවැත්වීම සඳහා බුදුරජාණන් වහන්සේ විසින් ලබාදුන් කේශ ධාතු රැගෙන ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණ ත්‍රිකුණාමලයට උතුරින් කඳු මුදුනක දාගැබක්‌ හදා එහි නිධන් කර තැබීමයි. එම දාගැබ අද අපි ගිරිහඩු සෑය නමින් හඳුන්වමු. බුදුරජාණන් වහන්සේ ජීවමානව සිටිය දීම උන්වහන්සේගේ ශාරීරික ධාතු තැන්පත් කර මෙහි මිහිපිට තැනූ එකම දාගැබ මෙන්ම පැරණිතම දාගැබ ගිරිහඩු සෑයයි. එය සිදුවූයේ ද මීට වසර 2600 කට පෙරයි.

ගෞතම බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ජන්ම භූමියෙන් එනම් දඹදිවින් බැහැර වැඩම කළ එකම රට ශ්‍රී ලංකාව වන අතර උන්වහන්සේ තුන් වතාවක්‌ම මෙරටට වැඩම කිරීමෙන් අප කෙරෙහි දැක්‌වූ අනුකම්පාව අපි හැමදාම සිහි කළ යුතු ඓතිහාසික කරුණකි. බුදු වී 2600 වසරක්‌ ගත වන අවස්‌ථාවෙහි පමණක්‌ නොව එම බුද්ධාගමනයන් අප හැම විටක සිහිකළ යුතු වෙයි. සිහි කරමින් උන්වහන්සේගේ චරිතය හා දෙසූ දහම අනුව යමින් උතුම් වූ බුද්ධාශිර්වාදය ලබා ගැනීම අපට කළ හැකි අප කළ යුතු දෙයකි. බුදු බලය තරම් අපට ආශිර්වාද ලැබෙන වෙනත් කිසිදු බලයක්‌ නොමැති බව ද මෙහි දී කිව යුතුය.

බුද්ධාශිර්වාදය ලැබූ අප මවුබිමෙහි මිහිඳු මහ රහතන් වහන්සේ විසින් හඳුන්වා දුන් බුදුදහමට අනුගතව දිවි මඟ සකසා ගත් අපේ මුතුන් මිත්තෝ මේ බිම ධර්මද්වීපයක්‌ බවට පත් කළහ. එපමණක්‌ නොව පෙරදිග ධාන්‍යාගාරය මෙන්ම ඉන්දියන් සාගරයේ මුතු ඇටය යන විරුදාවලිය ලැබීමට සමත් වූයේ ද බුදු දහම නිසාමයි. 2600 වසරක්‌ තිස්‌සේ අප රට වැසියන්ගේ මනස පෝෂණය කළ ඒ බුදු මඟ අපගේ මාතෘ භූමිය ස්‌වයං පෝෂිත රටක්‌ ලෙස පැවතීමට හේතු වූ බව රටවැසි හැම දෙනාම පිළිගත යුතු කරුණකි. මේ සියලු කරුණු නිසා එදා මෙන්ම අදත් මේ රට බෞද්ධ රටක්‌ ලෙස ලෝකය තුළ තහවුරු වී ඇති බව ද සත්‍යයකි. එසේ තහවුරු කළේ සිංහලයන් බව ද පිළිගත යුතු සත්‍යයකි.

අද මේ රට තුළ අසිංහල අබෞද්ධ ජනතාව ද වෙසෙති. ඔවුන්ට ඔවුන්ගේ කටයුතු කරගෙන යැමට සිංහල බෞද්ධයන්ගෙන් කිසිදු බාධාවක්‌ නොමැත. එහෙත් ආක්‍රමණශීලීව බෞද්ධ හා සිංහල උරුමයන්ට එරෙහිව ක්‍රියා කරන විට ඒ අසාධාරණයන් බව පෙන්වා දීමත් ඊට එරෙහිව නැඟී සිටීමත් සිංහල බෞද්ධයන් විසින් කළ යුතු දෙයකි. එසේ ක්‍රියාත්මක වන විට ජාතිවාදීන් හෝ ආගම්වාදීන් ලෙස සිංහල බෞද්ධයන්ට එරෙහිව කරුණු කියන, නැඟී සිටින අය ශීලාචාර මිනිසුන් නොවන බව කිව යුතුය.

2600 වසරක්‌ තිස්‌සේ මෙරට වැදගත් ශිෂ්ටාචාරයක්‌ ආරක්‍ෂා වී තිබේනම් එය එසේ වූයේ බුදු මඟ පදනම් කර ගෙනයි. එම ශිෂ්ටාචාරයට හානි සිදු වූයේ බුදු මඟෙන් ඈත්වීම නිසයි. තවත් පැහැදිලිව කිවතොත් අන්‍යාගමික අන්‍ය සංස්‌කෘතික බලපෑම් තර්ජන හා මර්දන නිසයි. එය මෙරට පුරවැසි මෙන්ම සත්‍ය ගරුක ලෝ වැසි හැම කෙනෙකු විසින්ම පිළිගත යුතු සත්‍යයකි.

ශ්‍රී ලංකාවෙහි ඉපදී ශ්‍රී ලංකා පුරවැසිකම හිමිකරගත් සියලු දෙනා විසින්ම තම මවුබිමේ ඉතිහාසය දැනගත යුතු අතර එම ඓතිහාසික උරුමයන්ට ගරු කළ යුතු ද වෙයි. එහෙත් අද එය දෙමළ හා මුස්‌ලිම් අය විසින් පමණක්‌ නොව ඇතැම් සිංහලයන් විසින් ද ගරු නොකරන දෙයක්‌ බවට පත් වී ඇත. බහුජාතික හා බහුආගමික සංකල්පයක්‌ ඉදිරිපත් කරගෙන මේ රටේ උරුමයන්ට හානි පමුණුවන වැඩ පිළිවෙළක්‌ තදින්ම ක්‍රියාත්මක වෙයි. එය කිසිසේත්ම වැදගත් සංකල්පයක්‌ නොව බහුබූතයක්‌ පමණි. රටක ඉතිහාසය පුරා පැවත එන උරුමයන් පදනම් කරගත් අනන්‍යතාව එම රටේ වැදගත් කමයි. 2600 වසරක්‌ තිස්‌සේ පැවත එන එම උරුමයන්ට ගරු නොකරන විට ඊට එරෙහිව කටයුතු යෙදෙන විට රටේ වැදගත්කම ද නැතිවී යයි.

මෙම සත්‍යය දන්නා ඊට ගරු කරන සිංහල බෞද්ධයන් මෙන්ම කතෝලික මුස්‌ලිම් හා දෙමළ සත්පුරුෂයෝ ද සිටිති. එහෙත් ජාතිවාදය හා ආගමික අන්තවාදය පදනම් කරගෙන සිතන මතන ක්‍රියා කරන ඒ අනුව බලය බෙදීමට වැර වෑයම් කරන මිනිසුන් නිසා 2600 ක උරුමයට බලවත් තර්ජන එල්ල වී ඇත. ඔවුන් අතර අන්‍ය ජාතික අනාගමිකයන් පමණක්‌ නොව සිංහලයෝ ද නරක බෞද්ධයෝ ද සිටිති.

මෙරට අනන්‍යතාව හා උරුමය දැන එය අතිශයින්ම අගය කළ කෙනෙකි මර්සලින් ජයකොඩි පියතුමා. එතුමා ඒ බව කවියෙන් පැවසුවේ මෙසේය.



උතුරත් දකුණත් අනෙක්‌ දෙපැත්තත්

වෙහෙරෙන් සුදු වී ඇත නංවා කොත්

යම් විට යම් කොත් සුන් වී ඇත හොත්

යළි නංවන තුරු කන්න එපා බත්



වෙහෙරක්‌ නැති තැනක වෙහෙරක්‌ තැනීයන්

බැලු බැලු හැම තැනක වෙහෙරක්‌ පෙනීයන්

ඉන් දෙන පණිවිඩය සවනට දැනීයන්

දුටු දුටු හැම සිතකම සිල් ගැනීයන්



මෙවැනි උතුම් අදහස්‌ ඇති රටේ අනන්‍යතාව පිළිගත් ඊට ගරු කරන තවත් අය ද නැත්තේ නොවේ.

එහෙත් අද මෙරට පුරවැසි බව ජන්මයෙන්ම ලබා ගත් මුස්‌ලිම්වරු ලෝකයේ වෙනත් මුස්‌ලිම් රටවල් තමන්ගේ රටවල් ලෙස සලකති. පසුගිය දා ජිනීවා සමුළුවේ දී ශ්‍රී ලංකාවට පක්‍ෂව අරාබි රටවල් ඡන්දය දීම ගැන ඔවුන් හඬ ගා කියන්නේ අපේ රටවල් එසේ ඡන්දය දුන්නාය කියලයි. මෙරට පුරවැසියන් ලෙස සිටිමින් මුස්‌ලිම් ආගමිකයන් සිටින වෙනත් රටවල් තමන්ගේ රටවල් ලෙස සලකා තමන්ට උවමනා දේ කර ගැනීමට එම රටවල බලපෑම් හා සහයෝගය ලබා ගැනීමට ක්‍රියා කිරීම මෙන්ම සිතීම ද බලවත් වරදකි. එවැන්නන් සිටින විට රටක්‌ දියුණු කළ නොහැක. රටේ සමගිය ඇති නොවේ. ඒ බව මුස්‌ලිම් සාමාන්‍ය ජනතාව මෙන්ම විශේෂයෙන් මුස්‌ලිම් දේශපාලකයන් තදින්ම සිතට ගත යුතුය.

මෙහි පුරවැසිකම ඇතිව සිටින දෙමළ ජනයා ද මෙරට වැසියෝය. එම දෙමළ ජනතාව තමන්ගේ ජනතාව ලෙස සලකමින් බහුතර දෙමළ ජනගහනයක්‌ සිටින තමිල්නාඩුවේ දෙමළ නායකයන්ට හෝ ඉන්දීය ආණ්‌ඩුවට ශ්‍රී ලංකා රජයට බලපෑම් කිරීමට කිසිදු සදාචාරාත්මක අයිතියක්‌ නැත. මෙරට දෙමළ දේශපාලකයන්ට ද දෙමළ ජනයා වෙනුවෙන් වෙනම බලතල හෝ ඊළමක්‌ වෙනුවෙන් කතා කිරීමට ක්‍රියා කිරීමට සදාචාරාත්මක අයිතියක්‌ නැත. එහෙත් ඔවුහු ඒ දේ කරති. එය මෙරට වැසියන්ගේ සමගියට හා දියුණුවට ද බරපතළ බාධාවකි.

මෙම කරුණු ඉතා හොඳින් විමසා බලා සිහි නුවණින් යුතුව රටේ අනන්‍යතාව රැකගැනීමට ක්‍රියා කිරීම රටේ අනන්‍යතාවට ගරු කරන සත්‍ය ගරුක මෙරට වැසි හැම දෙනාගේම යුතුකම හා වගකීම වන්නේය. විශේෂයෙන් සිංහල බෞද්ධ පැවිදි ගිහි නායකයන්ගේත් දේශපාලකයන්ගේත් ප්‍රබල වගකීමක්‌ වන්නේය. එම වගකීම සිතට නොගෙන දේශපාලන බලය අරමුණු කරගෙන හෝ වෙනත් කරුණක්‌ නිසා හෝ විදේශ බලවේග වලට නතු වී ක්‍රියා කළහොත් 2600 වසරක්‌ තිස්‌සේ අප සතුව පැවත එන අපේ උරුමය අපේ ශිෂ්ටාචාරය හා රටේ අනන්‍යතාව වැනසී යන්නේය. ඊට ඉඩදුන්නොත් එම විනාශය සිදු කළ අය ලෙස අනාගතයේ දොස්‌ පැවරෙනු ඇත්තේ විජාතිකයන්ට හා විදේශිකයන්ට පමණක්‌ නොව මෙරට සිංහල බෞද්ධයන්ටත් සමඟයි. රටක්‌ හා ජාතියක්‌ වශයෙන් මෙන්ම උතුම් ශිෂ්ටාචාරයක්‌ දීර්ඝකාලයක්‌ තිස්‌සේම රැකගත් භූමියක්‌ වශයෙන් ද ඉදිරියටත් මැනවින් පැවතීමට නම් 2600 වසරක උරුමය මත පිහිටා අප ක්‍රියා කළ යුතුව ඇත. එයයි අපගේ අනුල්ලංඝනීය වූ කාර්ය භාරය වන්නේ. පිය උරුමය දැන ඒ අනුව ක්‍රියා කිරීම විනාශ නොවී පැවතීමට හේතු වන බව බුදුරජාණන් වහන්සේ ද (චක්‌කවත්ති සීහනාද සූත්‍රයෙහි) දේශනා කළහ.