විශාල වීම සඳහා පණිවුඩය මත Click කරන්න
රටේත් ජාතියේත් අවාසනාවට, රටේ නියම උරුම කරුවන් දිනෙන් දිනම සිය එකම වටිනාකම වන බෞද්ධ කමින් ඈත් වෙමින් යයි. රටේ අධ්‍යාපන ක්රමයද අපගේ සැබෑ අනන්‍යතාවය වන බුදු දහමේ නියම හරය වෙනුවට, හුදෙක්, ඉතාම දරුණු ලෙස කපා දමන ලද්දා වූද, නීරස වූද දහමක් එතරම් වැදගත් නොවූ විෂයන් ඝනයට දමා දහම් දැනුමක් පවා නොමැති නුපුහුණු ගුරුවරුන් හරහා පාසැල් දරුවන්ට බෙදා හදා දෙයි. ඉන්පසු වැඩිහිටියන් වන ඔවුන්, සමාජයේ වල්මත් වන්නේ හුදෙක් හරි වැරැද්ද කුමක් දැයි පවා නොදන්නවුන් ලෙසය. එය හරියටම කෙල කෝටියක් ධනය සහිතව, එය පරිභෝගය පිළිබඳ මෙලෝ හසරක් නැති උරුම කරුවෙක් මෙනි. විශ්ව දහමක් වන බුදු දහමේ, සොයා බැලූ විට, විසඳුමක් සපයා නොමැති ගැටළුවක් නොමැත. එය හුදෙක් පරලොව විමුක්තිය සඳහා දෙසූවක් නොව, මෙලොව පරලොව දෙකම ඉහලින්ම ජය ගැනීමටම උගන්වන ලොවේ එකම ඉගැන්වීමයි.
නමුත් බෞද්ධ සමාජයේ කීයෙන් කී දෙනෙක් අඩු තරමින් මේ බව දන්නේද? කී දෙනෙක් එම කෙල කෝටියක් වටිනා ධනය සිය ප්‍රයෝජනය පිණිස යොදා ගන්නේද? කිසිවෙකුත් නැත. දැන් දැන් බෞද්ධ සමාජයේ පන්සිල් පද පහ පවා පිළිවෙලින් දන්නවුන් අඩු වෙමින් යයි. හේතුව කුමක්ද? ඒවා භාවිතයේ ඇති ප්‍රමාණය නොවේද? සැබෑ බෞද්ධයන් සංඛ්‍යාව මැනිය හැක්කේ, දිනපතා තිසරණය යන බෞද්ධයන් ගණනින් පමණි. එය කීයක් දැයි සිතීමටත් අපි බිය වන්නෙමු. මෙවන් පසුබිමක් තුල සබරගමු පළාත් ආණ්ඩුකාර තුමා ගෙන ඇත්තේ වටිනාකම කියා නිම කල නොහැකි පියවරකි. අති උත්තම වූ කුසළ කර්මයකි.
දහමේ උරුම කරුවන් එහි වටිනාකම තමාට පනවන ලද නීතියක් තුලින් හෝ අවබෝධ කර ගන්නේ නම්, අපගේ ජාතියේ සුභ සිද්ධියට එය ඉහලම පිටුවහළක් වීම ඒකාන්තය. සබරගමු පළාත් ආණ්ඩුකාර තුමනී, ඔබට මුරගල අපගේ ගෞරවනීය නමස්කාරය. සබරගමු පළාතෙන් නොනැවතී මෙය මුළු රටේම බෞද්ධ ජනතාවට සෙතක් වනසේ සෑම පළාත් ආණ්ඩුකාර තුමෙක්ගේම අවධානයට ලක් වේවා. රටේ ජනාධිපති තුමාගේ අවධානය මෙයට යොමු වේවා. අයාලේ යන සිංහල බෞද්ධයා නැවත සිල් වතුන් කිරීමෙන් අසම සම පෞර්ෂ වර්ධනය එතුලින් ලැබීමටත්, ලොව අන් කිසිම රටකට වඩා උසස් පුරවැසි රත්නයන් බිහි කිරීමටත් මෙය පළමු පියවර පමණක් වේවා!