
වරිපනම් ගෙවීමේ අවස්‌ථාවත් උදුරාගෙන
ත්‍රි"මලේ සිංහල පවුල්වල ඉඩම් අහිමි කිරීමේ තැතක්
කුමන්ත්‍රණය පිටුපස දෙමළ දේශපාලන හස්‌තයක්
ත්‍රිකුණාමලය - සමන් මල්ලවආරච්චි
ත්‍රිකුණාමලය ආන්දම්කුලම් ප්‍රදේශයේ වසර 45 ක් තිස්‌සේ සිංහල ජාතිකයන් විසින් භුක්‌ති විඳින ඉඩම් තමන්ට අහිමි කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව ඔවුහු පවසති.
මෙම කුමන්ත්‍රණය පිටුපස දෙමළ ජාතික සන්ධානයේ දේශපාලනඥයකු සිටින බව ද දැනගන්නට ඇත.
අධිරාජ්‍ය යුගයේදී ලබාදුන් හිමිකමක් කියමින් මෙම ඉඩම්වලට අයිතිවාසිකම් ඉල්ලා සිටින දෙමළ ජාතිකයන් පසුගිය දශක ගණනාවක් තිස්‌සේ මෙරටින් බැහැරව ජීවත් වූ පිරිසක් බව ද දැන ගැනීමට ඇත.
දැනට මෙම ඉඩම්වල සිටින සිංහල ජාතිකයන් ත්‍රිකුණාමලය නගර සභාවට සහ කඩවත්සතර ප්‍රාදේශීය සභාවට වරිපනම් ගෙවන බවත් පසුගිය දිනවල අදාළ වරිපනම් ගෙවීමට යැමේදී ඔවුන්ගේ ඉඩම්වල අයිතියට දෙමළ ජාතිකයන්ගේ නම් යොදාගෙන ඇති බවටත් ඔවුහු චෝදනා කරති.
ඒ අනුව මෙතෙක් තමන්ගේ ඉඩම්වලට වරිපනම් ගෙවීමට ලැබුණු අවස්‌ථාව ද මෙම ඉඩම් හිමියන්ට අහිමිව ඇත.
මෙම ප්‍රාදේශීය සභාවේ බලය දැනට ඇත්තේ දෙමළ ජාතික සන්ධානය සතුවයි. එම බලය උපයෝගී කරගෙන මෙම ඉඩම්වල අයිතිය සිංහල ජාතිකයන්ට අහිමි කිරීමේ කුමන්ත්‍රණය ක්‍රියාත්මක වන බවට ද දැනගන්නට ඇත.
මෙම ඉඩම්වල අයිතිය දෙමළ ජාතිකයන් විසින් ඉල්ලා සිටිනු ලබන්නේ 1930 වර්ෂයේදී ඔවුන්ට කැලෑවෙන් දර කැඩීමට දුන් බලපත්‍රයක් මුල් කරගෙන බව ද දැන ගැනීමට ඇත. එම බලපත්‍රය ඉඩම්වල අයිතිය තහවුරු කිරීමේ ලියවිල්ලක් නොවන අතර වෙනත් කිසිදුÊනීතිමය ලියවිල්ලක් ද මොවුන් සතුව නොමැත.
ත්‍රිකුණාමලයේ ඉඩම් කච්ෙච්රිය 1980 දශකයේදී ගිනි තැබුණු අතර ත්‍රිකුණාමලයේ ඉඩම් පිළිබඳව හසල දැනුමක් තිබූ ත්‍රිකුණාලමය ඉඩම් කොමසාරිස් පීරිස් මහතාව එල්.ටී.ටී.ඊ. පිස්‌තෝල කල්ලිය විසින් ඝාතනය කර ඇත.
මෙම තත්ත්වය හමුවේ සිංහලයන් විසින් භුක්‌ති විඳින මෙම ඉඩම්වල අයිතියට දෙමළ ජාතිකයන්ට ඉල්ලා සිටීමේ කිසිදු පදනමක් නොමැති බව ද මෙම ඉඩම් භුක්‌ති විඳින සිංහල ජාතිකයෝ පෙන්වා දෙති.
වසර 45 ක ඉපැරැණි ඉතිහාසයක් ඇති ත්‍රිකුණාමලය ඉඩම්වල පදිංචිව සිටින සිංහල පවුල්වලට ඉඩම් බලපත්‍ර ලබාදෙන ලෙස ඉල්ලමින් ත්‍රිකුණාමලය මිහිඳුපුර මංසන්ධියේදී ඊයේ (15 දා) විරෝධතාවක් පැවැත්විණි.
පවුල් 154 ක් පදිංචි වී සිටින මෙම භූමියේ අයිතිය කියමින් දිනපතාම සංවිධානාත්මක ද්‍රවිඩ කණ්‌ඩායම් පැමිණෙන බව උද්ඝෝෂකයෝ කියා සිටිති.
ප්‍රදේශයේ විහාරස්‌ථානවල විහාරාධිපති හිමිවරුන් හා ආන්දන්කුලම මිහිඳුපුර ගම්මානවල ජනතාව ද මෙම උද්ඝෝෂණයට සහභාගි වී සිටියහ.
උද්ඝෝෂකයන් අමතමින් අනුශාසනාවක් කළ මිහිඳුපුර හා කොටුව බෞද්ධ මධ්‍යස්‌ථානාධිපති මිහිඳුපුර මහින්ද වංශ හිමියෝ මෙසේ පැවසූහ.
දිගු ඉතිහාසයක් ඇති මෙම ඉඩම්වල අයිතිය රැක දීම රජයේ වගකීමක්. සිංහල පාසලක් සහිත මෙම භූමියේ අයිතිය ඉල්ලාගෙන අද විවිධ කණ්‌ඩායම් පැමිණෙනවා. එය මේ ප්‍රදේශයේ සාමයට තර්ජනයක් වෙලා. නැවතත් ජාතිවාදයේ බීජ වැපිරවීමේ ක්‍රියාවක් මේ ප්‍රදේශයේ ද්‍රවිඩ කණ්‌ඩායම් ඇති කරනවා. පවුල් 154 ක් පාරට ඇද දමන්නේ නැතිව රජය ඉක්‌මනට පියවරක් ගන්න ඕනෑ.
මෙහිදී අනුශාසනාවක් කළ ආන්දන්කුලම තිස්‌ස ගල්ලෙන් රජමහා විහාරාධිපති කණමුල්දෙණියේ විපුලතිස්‌ස හිමියන් මෙසේ පැවැසීය.
අද සිංහල ජනතාවට විවිධ පීඩනයන් නැවතත් එල්ල වේගෙන එනවා. මේ ජනතාවට ඉඩම් අයිතිය ලබාදීමට ඉක්‌මනින් කටයුතු කරන්න ඕන. අද සල්ලිකාර ද්‍රවිඩ කණ්‌ඩායම් මේ ඉඩම් කොල්ල කන්න හදනවා. එය පරාජය කරන්න පක්‍ෂ පාට අමතක කරලා එකතු විය යුතුයි. අද මේ ප්‍රශ්නයට සාධාරණ විසඳුමක් ලබා නොදුන්නොත් ජනතාව සමඟ උපවාසයක් ආරම්භ කරනවා.
"ජනපතිතුමනි, අපේ ඉඩම් අපට දෙන්න", "ජන ජීවිතය ආරක්‍ෂා කර දෙන්න", "දෙන්න දෙන්න අපට දෙන්න, අපේ ඉඩම් අපට දෙන්න" ඉඩම් ඇමැතිතුමාගේ ලේකම්ගේ ලිපිය ඉල්ලා අස්‌කර ගන්න යනුවෙන් ප්‍රකාශ සටන් පුවරු ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණයේ යෙදී සිටියහ.
ප්‍රදේශය පුරා පොලිසිය හා ආරක්‍ෂක හමුදා දැඩි ආරක්‍ෂාවක් යොදවා තිබිණි.
http://www.divaina.com/2012/08/16/news01.html