BUDDHIST HERO - අපි වන්දනා කලයුතු වීරයෙක්

http://www.divaina.com/2012/05/13/feature16.html



බෞද්ධ උරුමය වෙනුවෙන් කැපවූ උදාර චරිතයක්‌

පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසි ආධිපත්‍යය යටතේ ශත වර්ෂ ගණනාවක්‌ අපේක්‍ෂා භංගත්වයෙන් හා ආත්ම විශ්වාසයෙන් තොරව ජීවත් වූ සිංහල ජාතියට නැවත තම උපන් බිමේ පමණක්‌ නොව, ලොව අන් බලවත් ජාතීන් සමග ද, උරෙනුර ගැටී සිටීමට තරම් පොහොසත් වන්නට, ජීව වායුව පිඹීමට සමත් වූ අනගාරික ධර්මපාලතුමා 1864.09.17 දින මෙලොව එළිය දුටුවේය.

මාතර හිත්තැටියේ දොන් කරෝලිස්‌ හේවාවිතාරණ මැතිතුමන්ගේ හා මල්ලිකා හේවා විතාරණ මැතිණියගේ ජ්‍යෙෂ්ඨ පුත්‍ර රත්නය වශයෙන් මෙලොව එළිය දුටු ධර්මපාල ශිෂ්‍යයා මුලදී ඉංග්‍රීසි විදුහලට ගොස්‌ එහිදී අපරදිග භාෂා උගෙන අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ලිපිකරුවකු වශයෙන් රජයේ සේවයට ඇතුළු විය. පසුව, ඉන් අස්‌වී හික්‌කඩුවේ ශ්‍රී සුමංගල නාහිමි ඇතුළු ශ්‍රේෂ්ඨ පැවිදි පඬිවරුන්ගේ පා සෙවනේ වැඩී, බුදු දහමත්, පෙරදිග භාෂාවනුත් හදාරා ආගමික, ජාතික හා සාමාජික කටයුතුවල නිරත වන්නට විය.

රජයේ ලිපිකරුවකු වශයෙන් රැඳී සිට එකල ඉතා චමත්කාර ජනක වූ සිවිල් සේවාවට අවතීර්ණ වීමට ලෙහෙසියෙන්ම හැකි කම තිබියදී එවැනි දිවියක්‌ ප්‍රතික්‍ෂේප කළ එතුමා තමාගේ ජීවිතය බැබළවීම වෙනුවට මුළු මහත් සිංහල ජාතියේම ඉදිරි ගමන තකා වෙනත් මගක්‌ තෝරා ගෙන මහා ජාතික සටන් ව්‍යාපාරයක්‌ ආරම්භ කිරීමට අධිෂ්ඨාන කර ගත්තේය. එකසර කෙසරිඳු සේ කිසි විටක පසු නොබා මහත් ධෛර්යයෙන් යුතුව කටයුතු කරමින් සිංහල ජාතිය ගොඩ නැංවීමට එතුමන් කළ "ඒක පුද්ගල සංස්‌කෘතික විප්ලවය" (ධබැ ප්බ ජමකඑමර්ක රුඩදකමඑසදබ) මෑත ඉතිහාසයේ අනෙකුත් සියළුම ජාති හිතෛෂීන් විසින් කරන ලද සේවාවනට වඩා උත්කෘෂ්ඨ වන්නේ එතුමා පරිත්‍යාගශීලීත්වයෙන් හා අවංක ෙච්තනාවෙන් එය සිදු කරන ලද බැවිනි.

ආරම්භයේදී හෙන්රි ඕල්කට්‌තුමා සමග පරම විඥනාර්ථ සමාගමේ හා "සඳරැස" පුවත්පතේ කටයුතු කරමින්, මෙතුමා සිංහලයාගේ ආගමික හා සාමාජික අභිවෘද්ධිය තකා කටයුතු කරන්නට විය. පසුව 1891 දී, මෙතුමා ප්‍රථම වරට භාරතය බලා ගමන් කළේය. මෙහිදී එතුමාට ප්‍රත්‍යක්‍ෂ වූයේ, බුදුරජාණන් වහන්සේගේ පාද ස්‌පර්ෂයෙන් නිරතුරුව පවිත්‍ර වූ බුද්ධගයාව, කුසිනාරාව, සාරානාත්, ලුම්බිණි ආදී ස්‌ථානවල බෞද්ධ පුලුටක්‌ හෝ නොමැති බවය. තවද, බුදුන් දවස කෝටි සංඛ්‍යාත බෞද්ධයන් විසූ ඉන්දියාවේ ජනතාවට මේ වන විට බුදුරදුන්ගේ ශ්‍රී නාමය පවා අමතකව ගොස්‌ තිබිණි. එදා බුද්ධගයාවේ පැවැති මහන්තාගේ මිථ්‍යාදෘෂ්ඨික ක්‍රියා කලාපය හා භාරතයේ බුදු දහමට පැවැති තත්ත්වය ද, නිසා දැඩි කම්පාවට පත් ධර්මපාලතුමා නැවත බුද්ධාගම භාරතයේ ප්‍රතිෂ්ඨාපනය කිරීමට අධිෂ්ඨානය කර ගත්තේය. මේ අනුව 1891 දී බුද්ධගයා මහා බෝධි සමාගම පිහිටුවා ගත්තේය.

මේ අනුව වර්ෂ 40 ක්‌ ගෙවන විට එතුමන් විසින් කරන ලද නොයෙක්‌ ආගමික හා ශාසනික කටයුතු වලින් භාරත වැසියන්ට, තමාට නැතිව ගිය බුදු දහමේ දායාදය නැවත ලබා ගැනීමට හා එහි අගය අවබෝධ කර ගැනීමට හැකි විය. මෙය ක්‍රි.පූ. 3 වැනි ශත වර්ෂයේ මිහිඳු මා හිමියන් ලක්‌ දිව බුදු සසුන පිහිටුවීමට වඩා අති ශ්‍රේෂ්ඨ ක්‍රියාවක්‌ වන්නේ එතුමාට මිහිඳු හිමිට මෙන් ධර්මාශෝක හෝ දෙවැනි පෑතිස්‌ වැනි රජවරුන්ගේ අනුග්‍රහයක්‌ නොලැබූ බැවිනි. එතුමාට මේ කර්තව්‍යයන්හි නිරත වීමට සිදුවූයේ ඉන්දියාවේ හා ලංකාවේ සිටි නොයෙකුත් ඊර්ෂ්‍යාකාර කුහක සතුරන් විසින් ඇති කරන ලද බාධාවන් මධ්‍යයේය.

මෙතුමන් විසින් විදේශික ස්‌වකීය වාග් ප්‍රහාරයෙන් මෙල්ල කළ අවස්‌ථා එමටය. ඒ අතර භාරතයේදී දුම්රියක 1 වැනි මැදිරියක ගමන් කරමින් සිටියදී රදල අහංකාර සුදු ජාතිකයකු තමා ඉදිරියේ සිට දුම්වැටියක්‌ දල්වා මත්පැන් බොන්නට වූ විට එය නවත්වන්නට කළ ඉල්ලීම නොතකා සිටි අවස්‌ථාවේදී දුම්රියෙන් ඉවතට විසි කොට සුදු ජාතිකයා නිහඬ කළ අයුරුත්, ලංකාවේදී ආණ්‌ඩුකාරයා මුණ ගැසීමට දවල් 1.00 රජ මැදුරට ගිය විට 2.00 වන තෙක්‌ ආණ්‌ඩුකාරයා නිදාගෙන සිට පමා වී ආ විට... "නුඹලා වැනි, වේලාවට වැඩ නොකරන මෝඩයන් නිසා මගේ වටිනා කාලය අපතේ ගියා. මට නුඹ සමග කතාවක්‌ ඕනැ නැහැ..." කියමින් ඔහුට බැණ වැදී පිට වී ගිය සිද්ධිය ද සිංහලයාට කිසි දිනක අමතක නොවේ.

බුද්ධගයාව බේරා ගැනීමේ කර්තව්‍යයේදී එතුමන් විසින් එහි නවත්වන ලද භික්‍ෂුන් වහන්සේලාට දාමරිකයන් විසින් පහර දෙන ලද අතර, මෙතුමාට ඒ සම්බන්ධයෙන් අධිකරණයට යැමට ද, ලෝක බෞද්ධයන්ගේ ඇස්‌ ඇරවීම සඳහා විශාල මහජන මතයක්‌ ඇති කිරීමට ද සිදු විය. ඉන්දියානු ජාතික සංගමයට පවා කරුණු දැක්‌වීමෙන් අනතුරුව බෞද්ධයින්ට එක්‌තරා දුරකට බුද්ධගයාවේ පාලනය ලැබිණි.

1893 දී ඇමරිකාවේ චිකාගෝ නුවර පවත්වනු ලැබූ ලෝක දෘෂ්ඨි නායකයන්ගේ සම්මේලනයට සහභාගි වී ලෝක ආගමික නායකයන් වන ස්‌වාමි විවේකානන්ද ආදීන් ඉදිරියේ සිත් ඇද ගන්නා ආකාරයේ දේශනයක්‌ කළ මෙතුමා ඔවුන් කා අතරත් කැපී පෙනීමට සමත් විය. විශේෂයෙන්ම එහිදී වෙනත් ආගම් භක්‌තිකයකු සිය දේශනයේ ප්‍රතිඵලයක්‌ වශයෙන් බුද්ධාගමට හරවා ගැනීම එතූමා ජනප්‍රිය වීමට හේතු විය. ආපසු එන ගමනේදී මේරි පෝස්‌ටර් මැතිණිය හොනොලුලුවලදී හඳුනාගෙන බෞද්ධාගමට විශාල අනුග්‍රහය ලබා ගැනීමට ද හැකි විය. 1896 දී ජපානයේ ආගමික උත්සවයකට සහභාගී වූ මෙතුමා බ්ලැවැට්‌ස්‌කි මැතිණිය හඳුනා ගෙන එමගින් ශාසනයට විශාල අනුග්‍රහයක්‌ ලබා ගත්තේය. මහාබෝධි සමාගම මගින් මිෂනාරි අධ්‍යාපනය වෙනුවට බෞද්ධ පාසල් පිහිටුවීමත්, "මහාබෝධි" හා "සිංහල බෞද්ධයා" යන පුවත්පත් මගින් සිංහලයාගේ ජාතික දුර්වලකම් නැති කර ධෛර්යමත් කර පෙරට යෑවීමත් එතුමන් විසින් සිදු කරන ලද වැදගත් කාර්යයක්‌ විය.

මේ සියල්ලට වඩා මෙතුමන් විසින් දැඩි උද්වේගයෙන් ජාතික කැක්‌කුමකින් යුතුව වේගවත් වාග් මාලාවක්‌ යොදා ගනිමින් සිංහලයා නැගී සිටුවීමටත්, ඉංග්‍රීසින් මෙල්ල කිරීමටත්, ගෙන ගිය ක්‍රියා කලාපය ඉතා වැදගත් වේ. "සිංහලයිනි නැගිටිව්, බුද්ධගයාව බේරා ගනිව්, කම්මැලියා ගොන් අලියා මෙන් අලසව නිදා නොගනිව්, වල් මීහරකුන් මෙන් නැමි පනා නොගසව්, ඉංග්‍රීසි නම් වෙනුවට සිංහල නම් ගනිව්, සෘජුව කෙළින් සිට ගනිව්, පරංගියාගේ සාය වෙනුවට ඔසරිය ඇඳ ගත යුතුයි. සුද්දට භය නම් නුඹලා සුද්දා වගේ පඹයෙක්‌ හදා පඹයාට ගහපියව්...." ආදි වශයෙන් මෙතුමා සෙන්පතියකු මෙන් එදා වැටී සිටි සිංහල ජාතියට සංස්‌කෘතික නියෝග නිකුත් කරන්නට විය.

මෙයින් කිපුණු මෙරට ආත්මාර්ථකාමී බලලෝභීන් අනගාරික ධර්මපාල තුමාට පවා අපහාස කරමින් එතූමා කලකිරවන්නට විය. ඔවුන් කීවේ මෙතුමා පිටරටවල්වල සවාරි ගහන්නේ දොන් කරෝලිස්‌ සමාගමේ වෙළෙඳ ප්‍රචාරය සඳහා බවය. එහෙත් භාරතය, එංගලන්තය, ජර්මනිය, ජපානය, ඇමරිකාව, හොනොලුලු ආදී රටවල එතුමා විසින් කරන ලද ආගමික කටයුතු අද වුවද දැක ගත හැකිය. 1928 දී එතුමා පෝස්‌ටර් මැතිණියගෙන් බෞද්ධාගමට ලබා ගත් මුදල රු. 3,91,032/- ක්‌ විය. ඊට රු. 86 දාහක පොලියක්‌ ද ලැබිණි. දොන් කරෝලිස්‌ සමාගමේ දේපළ වලින් ද ලැබුණු 1/5 ක්‌ වූ එතුමාගේ කොටස ද එක්‌ කොට එතුමාගේ නමින් භාරකාර අරමුදලක්‌ පිහිටුවා ඇත. මෙතරම් පරිත්‍යාග කළ මුළු ජීවිතයේම කාලය, ශ්‍රමය, බලය, රටට, ජාතියට, ආගමට කැප කළ එතුමාට විදේශ රටවලින් ගරු බුහුමන් ලැබෙද්දී, තමන්ගේ මිනිසුන්ගෙන් අපහාස එල්ල වන විට එතුමා කලකිරී අවසානයේ මෙසේ ප්‍රකාශ කළේය.

"......... මෙවැනි අසත්පුරුෂයින් මැද්දේ මට ජීවත් වන්නට සිදුවූයේ මගේ පෙර කරුමයක්‌ නිසා වන්නට ඇත. මින්පසු මේ රටේ උපදින්නට තබා මැරෙන්නටවත් මට අදහසක්‌ නැත. මා මළ විට මගේ මළකඳවත් මේ රටේ අසත්පුරුෂයන්ට දකින්නට ලැබෙන්නේ නැත......." මෙසේ කියා දඹදිව ගිය ධර්මපාලතුමා 1933 අප්‍රේල් 29 දා ඉසිපතනයේදී අපවත් වූහ. එතුමාගේ ශ්‍රී දේහය ගෙන ඒමට ගිය අයට ගෙන ආ හැකි වූයේ භෂ්මාවශේෂ පමණකි.

මේ අනුව බලන විට දැනට ද සිදුවෙමින් පවතින නූතන සිංහල ජාතියේ පරිහානියේ ආරම්භය, ධර්මපාලතුමාගේ අභාවය සිදුවූ කාලයේ පටන් ආරම්භ වූ බව පැහැදිලි වේ. මෙතුමා ශ්‍රී ලංකාවේ අවසන් වරට කී වාක්‍ය කිහිපය පදනම් කරගෙන කරනු ලබන විග්‍රහයකින් හා ඒ අනුව යොදනු ලබන පිළියම් වලින් පමණක්‌ ශ්‍රී ලංකාවේ පරිහානිය වළක්‌වා ගත හැකි වනු ඇත.

කෙසේ නමුදු ශත වර්ෂ 25 ක්‌ මුළුල්ලේ කගපත ලෙළවමින්, සේනා සංවිධාන කරවමින් පෙරට ගොස්‌ රට, දැය, සමය රැක ගත් දුටු ගැමුණු. ගජබා, විජයබා, පැරකුම්බා, රාජසිංහ ආදී හෙළ රජ දරුවන් මෙන් මෑත කාලයේදී වාග් ප්‍රහාරයෙන්, දේශීය හා විදේශීය ජාතිෙද්‍රdaහී බෞද්ධ විරෝධී සතුරන් මෙල්ල කරමින් ඉදිරියට ගොස්‌ හෙළ දැයට ජීවය ලබා දුන් ධර්මපාල ශ්‍රී නාමය ද කිසිදා සිංහල ජනතාවගේ සිත් සතන් වලින් ඉවත් නොවනු ඇත.

ධර්ම හේවාමද්දුම

1 comment:

  1. ධර්මපාලතුමා ගෑන මේ ලිපිය පල කිරීම ගෑන් ස්තුතිවන්ත වෙනවා. එතුමාගේ චින්තනය මේ රටටම ආවේනික විදිහට හිතන හෑම කෙනාටම අදටත් ලොකු හයියක්.

    ReplyDelete

Please select Anonymous user to post comments, never leave your profile, true name with the comments.