MONK GEMS - හෙළ සඟ රත්නයන්, මේ දිවයිනට වාසනා



සත්ත්ව හිංසාව සම්පූර්ණයෙන් නතර
කිරීමට පනතක්‌ ගෙන එනවා

- හෙළ උරුමයේ මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි

චමින්ද සිල්වා

හලාවත කාලි කෝවිලේ සත්ත්ව බිලි පූජාව මෙවර තාවකාලිකව නවතා ගැනීමට හැකි වූවත් සත්ත්ව හිංසාව සම්පූර්ණයෙන් නතර කිරීමට පාර්ලිමේන්තුවට පනතක්‌ ගෙන ඒමට කටයුතු කරන බව ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පැවැසූහ.

හලාවත මුන්නේස්‌වරම් කාලි කෝවිලේ අනිද්දා (01 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබූ සත්ත්ව බිලි පූජාව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ඉල්ලීම මත නතර කිරීම සම්බන්ධයෙන් ඊයේ (30 වැනිදා) ජාතික පුස්‌තකාලයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ ඉහත අදහස්‌ දැක්‌වීම කළහ.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ මෙසේද පැවැසූහ.

යම්කිසි ආගමක නාමයෙන් සතුන්ට හිංසා කර සතුන් මරා ඒ ලේවලින් දෙවිවරුන් නාවන ක්‍රම ශිෂ්ට සම්පන්න නොවන රටකවත් පිළිගන්නේ නැහැ.

ඒ වගේම ආගම්වල මුවාවෙන් රටක ඕනෑම දෙයක්‌ කරන්න බැහැ. මෙවැනි ම්ලේච්ඡ සිදුවීම නවත්වන්න උද්ඝෝෂණ මාධ්‍ය සාකච්ඡා නිතර පවත්වන්න අවශ්‍ය නැහැ. අද ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය ඇතුළු ප්‍රාන්ත ගණනාවක මෙය නැවැත්වීමට කටයුතු කරල තියෙනවා. අපිත් එය සැලකිල්ලට ගතයුතුව තියෙනවා. ඒ වගේම පැරණි දෙමළ සංස්‌කෘතියේ වුවත් බිලිපූජා තිබුණේ නැහැ. මෙය කුඩා කණ්‌ඩායම් විසින් තමයි කරගෙන යන්නේ.

මම මේ වනවිටත් සත්ත්ව සුභසාධන කෙටුම්පතක්‌ ලෙස පෞද්ගලික යෝජනා යටතේ පාර්ලිමේන්තුවට සත්ත්ව හිංසා නැවැත්වීමට යෝජනාවක්‌ ගෙන තිබෙනවා. එම පනතින් මිනිසුන් සත්ත්ව මස්‌කෑම සම්පූර්ණයෙන් නවත්වන්න ඕන කියලා මම කියලා නැහැ. මම කියලා තියෙන්නේ ගව ඝාතනය සම්පූර්ණයෙන් නැවැත්විය යුතුයි කියලයි. මිනිසුන් සතුන් මරණ එක අපට නවත්වන්න බැහැ. නමුත් ආගමක නාමයෙන් කරන මෙවැනි අසීලාචාර ක්‍රියාවන්වලට අපි එකඟ වන්නේ නැහැ.

බස්‌නාහිර පළාත් ඇමැති උදය ගම්මන්පිල මහතා - මෙවර සත්ත්ව බිලි පූජාවත් විරෝධතාවයන් හා ජනාධිපතිවරයා මැදිහත්වීමෙන් නතර කර ගැනීමට අපිට හැකිවුණා. මෙවැනි සිදුවීම්වලින් හින්දු ආගමට විශේෂ කැළලක්‌ සිදුවෙනවා. ඒත් වාසනාවට කාලි කෝවිලේ පූසාරියාගේ කටින් ජනාධිපතිතුමන් ඉල්ලීමක්‌ කළොත් බිලි පූජාව නතර කරන බවට ප්‍රකාශ කර තිබුණා.

අපේ රටේ නීතියේ තියෙන්නේ සතෙක්‌ ඝාතනය කරන්න පුළුවන් බලපත්‍ර තිබෙන තැනකදී පමණයි කියලා. ඒත් එවැනි ස්‌ථානයක්‌ නොවෙයි හලාවත කාලි කෝවිල. ආගම් ඇදහිලි මත මෙවැනි දේ සිදුවුවත් රටවල් කිහිපයක බිලිපූජා පැවැත්වීම තහනම්. මෙවැනි දේ සිදුවුවත් රටවල් කිහිපයක බිලිපූජා පැවැත්වීම තහනම් කර තිබෙනවා.

ජාතික හෙළ උරුමයේ මධ්‍යම කාරක සභික හැඩිගල්ලේ විමලජෝති හිමියෝ - කපිලවස්‌තුපුර ධාතූන්වහන්සේලා ශ්‍රී සුමංගල විහාරස්‌ථානයේදී ප්‍රදර්ශනය කිරීමත්, කාලි කෝවිලේ සත්ත්ව බිලි පූජාව සිදුකිරීමත් වයඹ පළාත තුළම සිදුකෙරෙන නිසා මෙම බිලි පූජාව නවත්වන ලෙස ජාතික හෙළ උරුමය, සංඝ සභාව සහ තවත් සිවිල් සංවිධාන රැසකින් ඉල්ලීම් සහ විරෝධතා දැක්‌වීම් සිදුවුණා.

මේ වනවිට ජනාධිපතිවරයාගේ ඉල්ලීමට අනුව බිලි පූජාව නැවැත්වීමට කටයුතු කර තිබෙනවා. යම් හෙයකින් මෙම පූජාව (01 වැනිදා) පැවැත්වීමට කටයුතු කළේ නම් දැඩි විරෝධතාවක්‌ පැවැත්වීමට අපි අදහස්‌ කරගෙන සිටියා.

ජාතික හෙළ උරුමයේ නායක පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් මේ වනවිට සිංගප්පූරුවට වැඩම කර සිටිති. උන් වහන්සේ පසුගිය 28 වැනිද එහි සිට ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීමක ප්‍රතිඵලයක්‌ ලෙසයි ජනාධිපතිවරයා බිලි පූජාව නවත්වන ලෙස කාලි කෝවිලේ පූජකවරයාගෙන් ඉල්ලා සිටියේ.

මෙය නීතියෙන් නවතා ගැනීමට අපි ශ්‍රේෂ්ඨාධිකරණයට යනු ලැබුවත් එය විභාගයට ගැනීම ලබන 04 වැනිදාට කල් තැබීම සිදුවූවා. කෙසේ හෝ ආගමක නාමයෙන් සිදුවන සත්ත්ව හිංසා මේ රටේ නවතා ගැනීමට හැකිවන තෙක්‌ ජාතික හෙළ උරුමය පෙනී සිටිමින් ඉදිරියටත් කටයුතු කරනවා.


http://www.divaina.com/2012/08/31/news18.html

No comments:

Post a Comment

Please select Anonymous user to post comments, never leave your profile, true name with the comments.