SICK UNP VOTERS - සිය දිවි නසා ගැනීමට ඡන්දය දුන් නැගෙනහිර සිංහල මී හරක්



වම්ඉවුර

ආණ්‌ඩුව නැගෙනහිර ලැබූ පසුබෑම


උතුරුමැද, සබරගමුව හා නැගෙනහිර පළාත් සභා සඳහා පවත්වන ලද ඡන්දයෙන් ආණ්‌ඩු පක්‍ෂය ජයගන්නා බවට සැකයක්‌ තිබුණේ නැත. ඔවුන් ඇත්ත වශයෙන්ම උතුරුමැද හා සබරගමුව පළාත් දිනා තිබෙන්නේ සිතා ගැනීමටත් නොහැකි තරම් විශිෂ්ට ලෙස බව කිව හැකිය. උතුරුමැද පළාත මෙවර ඡන්දයට ගියේ දරුණු නියඟයක්‌ මධ්‍යයේය. එපමණක්‌ද නොව වී මිලදී ගැනීම් පිළිබඳ ප්‍රශ්නද ඒ පළාතේ ගොවීන්ට තදින්ම තිබිණි. මෙවැනි තත්ත්වයක්‌ තිබියදීත් එජනිසය එම පළාත තුළ ලබාගත් ඡන්ද ප්‍රමාණය යුද්ධයේ උච්ඡතම අවස්‌ථාවේදී ලබාගත් ඡන්ද සංඛ්‍යාවටත් වඩා වැඩි විය. 2008 දී එජනිසයට උතුරුමැද පළාතේ ඡන්ද 307,457 ක්‌ ලැබුණු අතර මෙවර ඔවුන්ට ඡණ්‌ද 338,552 ක්‌ ලැබී ඇත. ඔවුන්ට ලැබුණු ඡන්ද ප්‍රතිශයතද 56% සිට 61% දක්‌වා වැඩිවී තිබේ. සබරගමුව පළාත සම්බන්ධයෙන් තත්ත්වයද එසේමය. 2008 දී සබරගමුව පළාතේ එජනිසයට ඡන්ද 472,789 ක්‌ ලැබුණු අතර මෙවර එය 488,714 ක්‌ දක්‌වා වැඩිවී තිබේ. ඡන්ද ප්‍රතිශතද 55% සිට 59% දක්‌වා වැඩිවී තිබේ.

මේ නිසා උතුරුමැද සහ සබරගමුව පළාත් වල එජනිසයේ කිසි කෙනෙකු නොසිතූ ආකාරයේ විශිෂ්ට ජයග්‍රහණයක්‌ ඇතිකර ගෙන සිටින බව අපට පෙනේ. ඒ ආකාරයටම මේ පළාත් දෙකේම එජාපයේ පිරිහීමක්‌ ද දක්‌නට ලැබේ. උතුරුමැද පළාතේ නියඟයත්, රටේ ඉසඩ් ස්‌කෝර් ප්‍රශ්නයත්, විශ්වවිද්‍යාල ආචාර්යවරන්ගේ වැඩවර්ජනයන් හා මෙකී නොකී සියලුම ජාතික හා ප්‍රාදේශීය ප්‍රශ්න තිබයදීත් එජාපයට මේ පළාත් දෙකේම සිදුවී තිබෙන්නේ පසුබෑමකි. උතුරුමැද පළාතේ 2008 දී යුද්ධයේ උච්ඡතම අවස්‌ථාවේදී ඔවුන් කාගේත් ගැරහීමට ලක්‌වෙමින් සිටි සමයක එජාපයට උතුරුමැද පළාතේ ඡන්ද 205,284 ක්‌ ලැබිණි. එය ඡන්ද ප්‍රතිශතයෙන් 38% ක්‌ විය. නමුත් මෙවර එජාපයට උතුරුමැද පළාතේ ලැබුණු මුළු ඡන්ද ප්‍රමාණය 196,127 ක්‌ දක්‌වා පහළ බැස තිබෙන අතර ඡන්ද ප්‍රතිශතයද 35% දක්‌වා අඩුවී තිබේ. සබරගමුව පළාතේ එජාපයේ තත්ත්වය උතුරුමැද පළාතටත් වඩා පිරිහී තිබේ. 2008 දී ඔවුන්ට සබරගමුව පළාතේ ඡන්ද 346,321 ක්‌ ලැබුණු අතර එය ඡන්ද ප්‍රතිශතයෙන් 41% ක්‌ විය. මෙවර සබරගමු පළාතේ ඔවුන්ගේ ඡන්ද 286,857 ක්‌ දක්‌වා අඩුවී තිබෙන අතර ඡන්ද ප්‍රතිශතය ද 35% දක්‌වා අඩුවී ඇත. ඒ අනුව මෙම පළාත් දෙකේ ආණ්‌ඩු පක්‍ෂයේ තත්ත්වය ඉතාමත්ම සුරක්‍ෂිත බව කිව හැකිය. මේ ඡන්දය පැවැත්වීමට පෙර මේ පළාත් දෙක ජයගන්නා බවට අප පවසා සිටියේ නියඟය හා අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ කොතරම් දරුණු ප්‍රශ්න තිබුණත් මේ පළාත් දෙක තුළම එජනිසයත් එජාපයත් අතර තිබුණු වෙනස බොහෝ සෙයින් වැඩි නිසා විපක්‍ෂයට ඡන්ද වැඩිවීමක්‌ සිදු වුවත් එකවරම ඔවුන්ට පවතින වෙනස පියවීමට නොහැකිය යන පදනම මතය. නමුත් දැන් සිදුවී තිබෙන්නේ අපි ඒ කතා කළ වෙනස තවත් වැඩි වීමයි.

නමුත් නැගෙනහිර පළාතේ සිදුවී ඇත්තේ කුමක්‌දැයි බැලීම වටී. පළාත් සභා ක්‍රමය පිහිටුවනු ලැබූ 13 වෙනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනුව නම් එජනිසය නැගෙනහිර පළාතත් දිනා තිබේ. 13 වෙනි ව්‍යවස්‌ථා සංශෝධනයේ 154F(4) වගන්තිය අනුව නැගෙනහිර පළාතේ ආණ්‌ඩුකාවරයාට එම පළාත් සභාව තුළ වැඩිම සහයෝගයක්‌ දිනාගත හැකි මන්ත්‍රීවරයාට මහ ඇමැති හැටියට පත්කළ හැක. මේ අනුව නැගෙනහිර පළාතේ විශාලම තනි පක්‍ෂය වන එජනිසයට මහ ඇමැති ධුරය ලැබෙනු ඇත. මේ මහ ඇමැතිවරයාගේ උපදෙස්‌ මත සෙසු ඇමැතිවරුන්ද ආණ්‌ඩුකාවරයා විසින් පත්කරනු ඇත. නමුත් මෙවර ප්‍රශ්නයකට ඇත්තේ නැගෙනහිර පළාත තුළ එජනිසයට පැහැදිලි බහුතරයක්‌ නොලැබීමයි.

2008 පවත්වන ලද ඡන්දයේදී එජනිසයට නැගෙනහිර පළාතේ ඡන්ද ප්‍රතිශතයෙන් 52% ක්‌ ලැබුණු අතර ඔවුන්ට පළාත් සභාවේ ආසන 20 ක්‌ හිමිවිය. මෙවර ඔවුන්ට ලැබී ඇත්තේ 32% කට අඩු ප්‍රතිශතයක්‌ හා ආසන 14 ක්‌ පමණි. එම පළාත තුළ ජාතික නිදහස්‌ පෙරමුණෙන් පත්වූ තනි මන්ත්‍රීවරයාද එයට එකතු කළවිට ආසන 37 ක පළාත් සභාව තුළ ආණ්‌ඩු පක්‍ෂයට ඇත්තේ ආසන 15 ක්‌ පමණි. මේ අතරතුර ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසයට ආසන 7 ක්‌ හිමිවී තිබෙන නිසාත් ඔවුන් ආණ්‌ඩුවේ හවුල්කාර පක්‍ෂයක්‌ නිසාත් එජනිසයට පහසුවෙන්ම පළාත් සභාව තුළ බලය පවත්වාගෙන යැමට හැකිවනු ඇත. නමුත් ශ්‍රීලමුකො යනු කිසිසේත්ම විශ්වාස කළ නොහැකි දේශපාලන බලවේගයක්‌ නිසා මොවුන්ගේ සහයෝගයෙන් ආණ්‌ඩුවක්‌ පවත්වාගෙන යැම කිසිසේත්ම ජයග්‍රහණයක්‌ හැටියට සැළකිය නොහැක. උතුරුමැද හා සබරගමු පළාත් තුළ එජනිසය ලැබූ විශිෂ්ට ජයග්‍රහණය නිසා මුස්‌ලිම් කොංග්‍රසය අනෙක්‌ පැත්තට පැනීමේ සම්භාවිතාව බෙහෙවින්ම අඩුවී ඇතත් තීරණාත්මක අවස්‌ථාවේදී මොවුන්ව විශ්වාස කළ නොහැකි නිසා නැගෙනහිර පළාත තුළ ආණ්‌ඩුව එක්‌තරා ආකාරයකට පරාජයක්‌ ලබා ඇත.

ආණ්‌ඩුව නැගෙනහිර පළාත දිනා ඇත්තේ එජාපය පසුගිය පළාත් පාලන ඡන්දයේදී කොළඹ මහනගර සභාව දිනූ ආකාරයටමය. එනම් බහුතර ඡන්ද ප්‍රතිශතයක්‌ හෝ මන්ත්‍රීවරුන්ගෙන් පැහැදිලි බහුතරයක්‌ නොමැතිවය. නමුත් එජාපය "කොළඹ අපි දිනුවා" යෑයි වහසි බස්‌ කියන ආකාරයටම ආණ්‌ඩුවද "අපි නැගෙනහිර දිනුවා" යෑයි කියා සිටීම වැළැක්‌විය නොහැක. නමුත් වහසි බස්‌ පසෙක දමා නැගෙනහිර පළාත තුළ සිදුවී ඇති දෙයින් ආණ්‌ඩුවටත්, රටටත් එයින් එල්ල වන රතු එලිය කුමක්‌දැයි බැලීම වටී. 2008 නැගෙනහිර පළාත් ඡන්දය සමග මෙවර ඡන්දය සසඳන විට එජනිසයට ඡන්ද 108,000 කට වඩා අඩුවී ඇත. 2010 පාර්ලිමේන්තු ඡන්ද සමග සසඳන විටද මෙම ඡන්දයේදී එජනිසයට ඡන්ද 53,000 කට වැඩිය අඩුවී ඇත. මේ අනුව 2008 සිට අද දක්‌වා නැගෙනහිර පළාත තුළ දිගටම පවතින්නේ එජනිසයට ඡන්ද අඩු වන ප්‍රවණතාවකි.

රටේ සෙසු ප්‍රදේශවලටත් වඩා ආණ්‌ඩුව විසින් නැගෙනහිර පළාත තුළ සංවර්ධන කටයුතු කර තිබෙන වාතාවරණයක රටේ වෙනත් ප්‍රදේශවල ඡන්ද වැඩිවෙද්දී නැගෙනහිර පළාත තුළ පමණක්‌ එය අඩුවන්නේ මක්‌ නිසාදැයි විමසා බැලුවොත් එය තනිකරම ජාතිවාදය මත සිදුවන දෙයක්‌ බව අපට පෙනී යයි. මඩකලපුව දිස්‌ත්‍රික්‌කය ගත් කල 2008 දී දෙමළ ජාතික සන්ධානය පළාත් සභා ඡන්දයට ඉදිරිපත් වූයේ නැත. එම නිසා එජනිසය ඒ අවස්‌ථාවේදී 58% ක ඡන්ද ප්‍රතිශතයක්‌ දිස්‌ත්‍රික්‌කය තුළ ලබා ගත්තේය.

2010 පාර්ලිමේන්තු මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානයත් තරග කළ අතර ඔවුන් මඩකලපුව දිස්‌ත්‍රික්‌කය ජය ගත්තේය. එජනිසයේ ඡන්ද ප්‍රතිශතය 34% දක්‌වා අඩුවිය. මඩකලපුව දිස්‌ත්‍රික්‌කයෙන් 2010 පාර්ලිමේන්තු ඡන්දයේදී ලබාගත් ඡන්ද 62,009 ට වඩා මෙවර පළාත් සභා ඡන්දයේදී ආණ්‌ඩු පක්‍ෂයට ඡන්ද 64,190 ක්‌ ලබාගැනීමට හැකි වී ඇතත් දිස්‌ත්‍රික්‌කය තුළ ඔවුන්ගේ ඡන්ද ප්‍රතිශතය 31% දක්‌වා අඩුවී ඇත.

මේ සියල්ල සිදුවී ඇත්තේ දෙමළ ජාතිවාදය නිසාය. ජාතික දේශපාලන පක්‍ෂයක්‌ තුළින් තරග කරනවාට වඩා ජාතිවාදී ප්‍රාදේශීය පක්‍ෂයක නමින් තරග කිරීම තුළින් තම ඡන්ද ගොඩ වැඩිකර ගැනීමට හැකිවේ යෑයි සිතූ පිල්ලෙයාන්ගේ ටීඑම්වීපී පක්‍ෂය 2010 පාර්ලිමේන්තු මැතිවරණයේදී මඩකලපුව දිස්‌ත්‍රික්‌කයට වෙනම ලයිස්‌තුවක්‌ ඉදිරිපත් කොට දිස්‌ත්‍රික්‌කය තුළ ඡන්ද 16,567 ක්‌ ලබා ගත්තේය. මොවුන් මේ ආකාරයට ආණ්‌ඩු පක්‍ෂයේ ඡන්ද කැඩීම නිසා එජනිසය ඡන්ද 62,009 ක්‌ ලබා දෙවැනි තැනට තල්ලු විය. මඩකලපුව ආසනයත් කල්කුඩා ආසනයත් එජනිසය ජයගත් අතර දෙමළ ජාතික සන්ධානය එවර පද්දිරිප්පු ආසනය පමණක්‌ විශාල වැඩි ඡන්ද ගණනකින් ජය ගැනීමට හැකිවීම නිසා ඔවුන් මඩකලපුව දිස්‌ත්‍රික්‌කය ඡන්ද 66,235 ක්‌ ලබා වැඩි ඡන්ද හාරදහස්‌ ගණනකින් ජයගත්තේය. මේ සුළු වෙනස නිසා ඔවුන්ට පාර්ලිමේන්තු ආසන 3 ක්‌ හිමිවූ අතර ආණ්‌ඩු පක්‍ෂයට ලැබුණේ එක අසුනක්‌ පමණි.

දෙමළ ජාතික සන්ධානයට මේ ආකාරයට සුළු ඡන්ද ගණනකින් වැඩි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගණනක්‌ ලබාගැනීමට හැකිවීම නිසා දිස්‌ත්‍රික්‌කය ඔවුන්ට නතුවී ඇති බවක්‌ මහජනයාට පෙනෙන්නට තිබුණු හේතුවෙන් මෙවර ඇත්තටම දිස්‌ත්‍රික්‌කය ජාතිවාදය දෙසටම හෝදාගෙන ගොස්‌ ඇත. මෙවර ආණ්‌ඩු පක්‍ෂය දිනා ඇත්තේ කල්කුඩා ඡන්ද කොට්‌ඨාසය පමණි. 2010 දී පිල්ලෙයාන් දෙමළ ජාතිවාදයෙන් ප්‍රයෝජන ගැනීමට ගොස්‌ සිදුවී ඇත්තේ දෙමළ ජාතික සන්ධානය ශක්‌තිමත් වීම පමණි. මඩකලපුව හා පද්දිරිප්පු කොට්‌ඨාස දෙක තුළ දෙ.ජා.ස. බහුතරය විශාල වශයෙන් වැඩි වී ඇති අතර කල්කුඩා කොට්‌ඨාසය තුළ එජනිසයේ බහුතරය අඩු වී ඇත.

නැගෙනහිර පළාත තුළ දෙමළ හා මුස්‌ලිම් ජාතිවාදය වැඩිවී තිබෙන අතර සිංහල ඡන්ද එජනිසයත්, එජාපයත් අතර බෙදී යන තත්ත්වයක්‌ ඇතිවී තිබේ. දිගාමඩුල්ල දිස්‌ත්‍රික්‌කයේ එජනිසයට ලැබුණු ඡන්ද සංඛ්‍යාව 2010 පාර්ලිමේන්තු මැතිවරණයේදී ලැබුණු 132,096 සිට 92,530 දක්‌වා අඩුවී ඇත. ත්‍රිකුණාමල දිස්‌ත්‍රික්‌කයේද 2010 පාර්ලිමේන්තු ඡන්දයේදී එජනිසයට ඡන්ද 59,784 ක්‌ ලැබුණු අතර මෙවර එය 43,324 ක්‌ දක්‌වා අඩුවී තිබේ. නැගෙනහිර පළාත තුළ එජාපයේ ඡන්ද ඊටත් වඩා බෙහෙවින්ම අඩුවීම ගැන අපට කුමක්‌වත් කිව නොහැක්‌කේ එම පක්‍ෂය 2008 නැගෙනහිර පළාත් සභා ඡන්දයේදී මුස්‌ලිම් කොංග්‍රසයත් දෙමළ ජාතික සන්ධානයත් සමග හවුලේ තරග කරන ලද අතර ඔවුන් 2010 පාර්ලිමේන්තු මැතිවරණයටද ඉදිරිපත් වූයේ මුස්‌ලිම් කොංග්‍රසය සමගය.

ජාතිවාදී පක්‍ෂවල ආධාර නැතුව එජාපයට මඩකලපුව දිස්‌ත්‍රික්‌කයෙන් ඡන්ද 2,434 ක්‌ ලබා ඇපත් නැතිකරගෙන සිටියද අම්පාර දිස්‌ත්‍රික්‌කයේත්, ත්‍රිකුණාමල දිස්‌ත්‍රික්‌කයේත් ඔවුන් මවිතය දනවන ඡන්ද ප්‍රමාණයක්‌ ලබාගෙන ඇත. අම්පාර දිස්‌ත්‍රික්‌කයේ ඔවුන්ට ඡන්ද 48,028 ක්‌ ලැබී ඇති අතර ත්‍රිකුණාමල දිස්‌ත්‍රික්‌කයේ ඔවුන්ට ඡන්ද 24,439 ක්‌ ලැබී ඇත. මේ ඡන්දවලින් බහුතරය ඔවුන්ට ලැබී ඇත්තේ සිංහල ඡන්දදායකයන්ගෙනි. අම්පාර දිස්‌ත්‍රික්‌කයේ ඔවුන් ලැබූ ඡන්දවලින් අති බහුතරය ලැබුණේ සිංහල ප්‍රදේශයක්‌ වන අම්පාර ඡන්ද කොට්‌ඨාසයෙනි. එහි එජාප 35,578 ක්‌ව තිබීම දයා ගමගේගේ පුද්ගලික ජයග්‍රහණයක්‌ ලෙස සැලකිය හැකිය. අම්පාර දිස්‌ත්‍රික්‌කයේ සෙසු ඡන්ද කොට්‌ඨාසවලින් එජාපයට ලැබුණේ හාස්‍ය දනවන තරම් අඩු ඡන්ද ප්‍රමාණයකි. සමන්තුරෙයි වල එජාපයට තිබුණේ ඡන්ද 1,174 ක්‌ පමණි. කල්මුනෙයි ආසනයේ එය 1,134 ක්‌ විය. පොතුවිල් ආසනයේ එය ඡන්ද 6,684 ක්‌ විය. මේ අනුව එජාපයට අම්පාර දිස්‌ත්‍රික්‌කයේ ලැබී ඇත්තේ සිංහල ඡන්ද පමණි.

ත්‍රිකුණාමල දිස්‌ත්‍රික්‌කය තුළ එජාපය ලැබූ ඡන්ද සිංහල බහුතරයක්‌ වන සේරුවිල ඡන්ද කොට්‌ඨාසයේ 7,148 ක්‌ ද, මුස්‌ලිම් බහුතරයක්‌ සිටින මුතුර් ඡන්ද කොට්‌ඨාසයේ 12,318 ක්‌ ද, දෙමළ බහුතරයක්‌ වාසය කරන ත්‍රිකුණාමල ඡන්ද කොට්‌ඨාසයේ ඡන්ද 2,979 ක්‌ ද ලැබී තිබීමෙන් ඡන්ද බෙදී ගොස්‌ තිබුණ ද, ඔවුන්ට මෙම දිස්‌ත්‍රික්‌කයේ ලැබී ඇත්තේ සිංහල ඡන්ද බහුතරයකුත්, මුස්‌ලිම් ඡන්ද සුළුතරයකුත් බව උපකල්පනය කළ හැක. මුළු නැගෙනහිර පළාත තුළම දෙමළ ජනතාව අඩුවෙන්ම ඡන්දය දී ඇත්තේ එජාපයටය. දෙමළ හා මුස්‌ලිම් ජාතිවාදයට උල්පන්දම්දී මේ ආකාරයට සියදිවි නසාගත් තවත් දේශපාලන පක්‍ෂයක්‌ නැත. අවසානයේදී බලන විට නැගෙනහිර පළාත තුළ එජාපයට ඡන්දය දීමට ඉතිරි වූයේ සිංහල ඡන්දදායකයන් පමණි. නැගෙනහිර පළාතේ පවතින තත්ත්වය නිසා ජාතිය මත එක පක්‍ෂයකට ඡන්ද දෙනවාද නැතිනම් පක්‍ෂ භේදය මත ඡන්ද දෙනවාද යන්න නැගෙනහිර පළාතේ සිංහල ඡන්දදායකයන්ටද ඉදිරියට කල්පනා කිරීමට සිදුවනු ඇත. පසුගිය වකවානුවේ නැගෙනහිර පළාත තුළ ජාතිවාදය අඩුවෙමින් පවතින බවක්‌ පෙනුණද මෙම ඡන්දයෙන් සක්‌සුදක්‌සේ පැහැදිළි වන්නේ එම පළාත තුළ ජාතිවාදය අඩුවී ඇති බවක්‌ නොව වැඩිවී තිබෙන බවකි.

ලිඳකට වැටුණු විට ගොඩ ඒමට හැක්‌කේ ළිං කටින්ම පමණක්‌ යෑයි කියනවාක්‌ මෙන් ජාතිවාදයට ඇති පිළියම ජාතිවාදයම වේ. නැගෙනහිර පළාතේ සිංහල මිනිසුන්ද වඩාත් ප්‍රබල සිංහල පක්‍ෂය තෝරාගෙන එයට ඡන්ද දීමෙන් නැගෙනහිර පළාත තුළ තීරක බලවේගය බවට පත්විය හැක. නැගෙනහිර පළාතේ සිංහල ඡන්ද ප්‍රධාන පක්‍ෂ දෙක අතර බෙදී යැමෙන් එජාපයටවත්, එජනිසයටවත්, රටටවත් කිසිදු සුගතියක්‌ නැත. නැගෙනහිර පළාතේ ඇති සුවිශේෂ තත්ත්වය නිසා එම පළාතේ සිංහල ඡන්දදායකයන් ඕනෑම යම් අවස්‌ථාවක සිටින බලගතුම ජාතික දේශපාලන පක්‍ෂයකට තම ඡන්දය ප්‍රකාශ කිරීම ගැන සළකා බැලිය යුතු යෑයි මට සිතේ. එවිට නැගෙනහිර පළාතේ සිංහල ඡන්ද නිකරුණේ අපතේ යන්නේ නැත. නැගෙනහිර පළාතේ සිංහල ඡන්ද බෙදී ගියහොත් එය මුළු රටේම ජාතිවාදී පක්‍ෂවල බලය වැඩි වන බව නැගෙනහිර පළාතේ සිංහල ඡන්දදායකයන් හොඳින් මෙනෙහි කරගත යුතුය.

සී.ඒ. චන්ද්‍රප්‍රේම 

http://www.divaina.com/2012/09/10/feature01.html
 

No comments:

Post a Comment

Please select Anonymous user to post comments, never leave your profile, true name with the comments.