DISPLACED SINHALESE - යුද්ධයෙන් අවතැන් වූ සිංහල ජනතාවට කාගේ පිහිටක්ද?



යුද්ධයෙන් අවතැන්ව දකුණට පැමිණි
උතුරු නැගෙනහිර සිංහල වැසියෝ යළි පදිංචිය ඉල්ලති


ගාල්ල අතිරේක - යූ. පී. කුලතිලක

උතුරු නැගෙනහිර ප්‍රදේශවල පුද්ගලික නිවාස තනාගෙන, ව්‍යාපාර හා විවිධ ස්‌වයං රැකියාවල, ධීවර කර්මාන්තය ආදියේ යෙදෙමින් හොඳින් දරු පවුල් සමඟ ජීවත්ව සිටියදී ත්‍රස්‌තවාදී කුරිරු යුද්ධයෙන් අවතැන්වී මුල් නිජ බිම් වූ හා තම ඥතීන් ජීවත්ව සිටින හික්‌කඩුව, දොඩන්දුව, උඩුගල්පිටිය මෝදර, පටුවත, දොඩන්දුගොඩ ආදී ග්‍රාම නිලධාරි වසම්වල දැනට තාවකාලිකව පදිංචි වී සිටින ජනතාවට නැවත ඔවුන් ත්‍රස්‌තවාදී යුද්ධයට පෙර පදිංචි වී සිටි උතුරු නැගෙනහිර ප්‍රදේශවල යළි පදිංචි කරවීමට ක්‍රියා කරන ලෙස ඔවුහු රජයේ බලධාරීන්ගෙන් ඉල්ලීමක්‌ කරති.

දැනට මෙසේ උතුරු නැගෙනහිර මුලින් සිටි ගම්මානවල පදිංචිවීමට අවශ්‍ය පවුල් පිළිබඳ විස්‌තර හික්‌කඩුව ප්‍රාදේශීය ලේකම් වෙත අදාළ පුද්ගලයන් විසින් සපයා දී ඇත.

මෙසේ උතුරු නැගෙනහිර යළි පදිංචිවීමට බලාපොරොත්තු වන දකුණේ සිංහල වැසියන් බොහෝ දෙනකු පවසන්නේ උතුරු නැගෙනහිර ත්‍රස්‌තවාදී කුරිරු යුද්ධය අවසන් වූ පසු අප මුලින් පදිංචිවී සිටි ඉඩම් වලට, නිවාස පිහිටි ස්‌ථානවලට ගොස්‌ සොයා බැලුවා. එම නිවාස සම්පූර්ණයෙන් ත්‍රස්‌තවාදීන් විසින් බෝම්බ හෙළා මේ වන විට විනාශ කරලා. නිවාසවල නටඹුන් පමණයි දක්‌නට ලැබුණේ. බොහෝ නිවාස පිහිටි ඉඩම් දැනට උතු=රු නැගෙනහිර ද්‍රවිඩ ජනයා විසින් අල්ලාගෙන පදිංචි වී සිටිනවා. සමහර ස්‌ථාන දමිළ ව්‍යාපාරිකයන් හා ද්‍රවිඩ පක්‍ෂවලට සම්බන්ධ දේශපාලඥයන්ගේ හිතවතුන් විසින් අප සතු ඉඩම් මහා පරිමාණයෙන් බුල්ඩෝසර් කර නව ව්‍යාපාර හා ගොවි බිම් ආරම්භ කරලා.

එදා ත්‍රස්‌තවාදීන් විසින් ඇතැමුන් බෝම්බ ගසා එළව ගත්තා. සමහර සිංහල පවුල් සම්පූර්ණයෙන් විනාශ කළා. අප ජීවිතය බේරාගෙන ඇඳිවත පමණක්‌ ඉතුරු කරගෙන දරු පවුල් සමඟ ආරක්‍ෂාව පතා සරණාගත කඳවුරුවලට ආවා. ඒ එන විට අප පදිංචි ඉඩම්වල අයිති ඔප්පු ආදී ලියකියවිලි රැගෙන ආවේ නැහැ. ඒවා පදිංචි නිවාසවලට විනාශ වුණා.

ඒ නිසා අද අපට උතුරු නැගෙනහිර පදිංචි ස්‌ථාන හා ඉඩම් පිළිබඳ අයිතිය ප්‍රකාශ කිරීමට කිසිම ලියවිල්ලක්‌ නැහැ. තවද ඒවායේ මුල් ඔප්පු පිටපත් තිබුණ කච්ෙච්රි හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල පවා ගිනි තබා විනාශ කරලා.

මේ තත්ත්වය තේරුම්ගෙන රජයේ බලධාරීන් විසින් දකුණේ සිංහල පවුල් උතුරු නැගෙනහිර ප්‍රදේශවල පදිංචි කිරීමේදී නිසි සැලැස්‌මක්‌ ක්‍රියාත්මක කළ යුතුයි.

තවද දකුණේ සිංහල ජනතාව දකුණේ දමිළ ජනතාවට දක්‌වන කරුණාව හා මිත්‍රශීලීකම, සහයෝගය, උතුරු නැගෙනහිර දැනට සිටින අන්තවාදී ද්‍රවිඩ පිරිස්‌ විසින්, දකුණේ ජනතාවටද ලැබිය යුතුයි.

රජයේ නිලධාරීන්ගෙන්ද දකුණේ සිංහල වැසියන් ගැන නිසි ලෙස සොයා බලා විසඳුම් ලබාදීම අඩුයි.

මේ තත්ත්වය අවබෝධ කරගෙනයි දකුණේ සිංහල අපි උතුරු නැගෙනහිර නැවත මුල් ඉඩම්වල පදිංචිවීමට ඉඩ ලබාදෙන ලෙස රජයේ බලධාරීන්ගෙන් ඉල්ලීමක්‌ කරන්නේ. ඕනෑම දුකක්‌ විඳගෙන උතුරු නැගෙනහිර නැවත පදිංචියට යැමට සූදානම් බව හික්‌කඩුව දොඩන්දුව ආදී ප්‍රදේශවල දැනට තාවකාලිකව පදිංචිව සිටින වැසියෝ පවසති.


http://www.divaina.com/2012/07/18/provin04.html

No comments:

Post a Comment

Please select Anonymous user to post comments, never leave your profile, true name with the comments.