වම්ඉවුර
මන්නාරම ට දෙවැනි නැති යාපනේ
පසුගිය සතිය අවසන් වන විට කාගේත් අවධානය යොමුවී තිබුණේ වෙළෙඳ හා වානිජ කටයුතු ඇමැති රිෂාඩ් බදියුදීන් විසින් මන්නාරම මහෙස්‌ත්‍රාත්වරයාට තර්ජනය කොට තිබෙනවායෑයි කියන සිද්ධිය දෙසටය. මන්නාරම මහෙස්‌ත්‍රාත්තුමා මේ ගැන පොලිසියට පැමිණිල්ලක් කර තිබෙන අතර ජනාධිපතිතුමා පෞද්ගලිකවම ඒ ගැන විමර්ශනයක් නියම කොට ඇත. ආණ්‌ඩුවේ කැපී පෙනෙන ඇමැතිවරයෙක් දැන් මහෙස්‌ත්‍රාත්වරයකු බිය වද්දා ඔහුට අවශ්‍ය පරිදි හැසිරවීමට උත්සාහ කිරීම තුළින් උසාවියට අපහාසයක් කර තිබෙනවායෑයි චෝදනාවක් පැන නැගී ඇත. ආණ්‌ඩුවේ ඇමැතිවරුන්ගේ නම ගෑවී තිබෙන නිසා ජනමාධ්‍යයට ද මෙය හොඳ මස් කටුවක් බවට පත්වී ඇත. ඡේ. ආර්. ජයවර්ධන ආණ්‌ඩුව සමයේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකුගේ නිවසට ගල් ගැසීමේ සිද්ධිය එම ආණ්‌ඩුව සම්බන්ධයෙන් වඩාත්ම ප්‍රසිද්ධියට පත්, වැඩිම කලක් පැවතුණු ඉතිහාසගතවූ චෝදනාවලින් එකක් බවට පත්විය. එම නිසා මන්නාරමේ ප්‍රශ්නය මතු වූ විට ජනමාධ්‍යයත් විපක්‍ෂ කණ්‌ඩායමුත් ඒ දෙසට ප්‍රබල ලෙස ආකර්ෂණය විය.
දේශපාලනඥයන් විසින් විනිශ්චයකාර සේවයේ නිලධාරීන් බිය ගැන්වීමට අකර්මණ්‍ය කිරීමට හෝ තමන්ගේ මතයට නම්මා ගැනීමට උත්සාහ කළ සියලුම අවස්‌ථාවලට එක ලෙස සැලකිය යුතු බව මේ අවස්‌ථාවේදී නොකියාම බැරිය. මන්නාරම සිද්ධියෙන් ජනිත වී ඇති ශබ්දය නිසා වෙනත් ස්‌ථානවල එතරම් ශබ්දයක් නැතුව වුවත් සිදුවන එවැනිම ක්‍රියාදාම සම්බන්ධයෙනුත් ජනතාවගේ ප්‍රතිචාරය එක හා සමාන විය යුතුය. යුද්ධය අවසන් වුවත් යාපනය තවමත් කොළඹ උදවියට දුර බැහැර ස්‌ථානයකි. යාපනේ සමාජයේ කවදත් තිබුණු සංවෘත භාවයද එම දුරස්‌ථභාවය තවත් තීව්‍රර කරවන කාරණයකි. මන්නාරමේ, මඩකලපුවේ, ත්‍රිකුණාමලයේ සිදුවන දේ යාපනයේ සිදුවීම්වලට වඩා කොළඹ උදවියගේ අවධානයට යොමුවේ. පසුගිය සති ගණනාවක් පුරා දෙමළ ජාතික සන්ධානය විසින් යාපනය අර්ධද්වීපයේ පහළ අධිකරණවල විනිසුරුවරුන් බියගන්වා තමන්ගේ මතයට නම්මා ගැනීමට ගෙන තිබෙන ක්‍රියාමාර්ග කීපයක් අපේ අවධානයට යොමු විය. යාපනේදී පාවිච්චි වන්නේ මන්නාරමට වඩා වෙනස් ක්‍රම සහ විධි වුවත් ඒ තැන් දෙකේදීම ඉලක්‌ක ගත අවසාන ප්‍රතිඵලය එකම වෙයි. යාපනය මෙහෙයුම මන්නාරම සිද්ධිය මෙන් ගොරහැඩි නැත. එය කිසිවකුගේ අවධානයට යොමු නොවන වතුර යටින් ගින්දර ගෙන යනවා වැනි සූක්‍ෂම උපක්‍රම තුළින් සිදුවන ක්‍රියාදාමයකි.
මෙය පසුගිය වසරේ දෙසැම්බර් 13 වැනිදා කයිට්‌ස් මහෙස්‌ත්‍රාත් උසාවියෙන් පටන් ගන්නා ලදී. ඒ අවස්‌ථාවේදී සිදු වූයේ කයිට්‌ස් මහෙස්‌ත්‍රාත්වරයා විසින් යාපනයේ වැඩියෙන්ම අලෙවි වන පුවත්පත වන උදයන් පුවත්පතේ වාර්තාකරුවෙක් උසාවියට කැඳවා එම උසාවියේ නඩුවක සැකකරුවකු කරන ලද පැමිණිල්ලක් විභාග කිරීමයි. මේ සැකකරු එම පුවත්පතේ තමන් පිළිබඳව පළවී තිබූ වැරැදි පුවතක් නිවැරැදි කර දෙන මෙන් උසාවියෙන් ඉල්ලා තිබේ. ඒ අනුව එම පුවත නිවැරැදි කරන මෙන් උසාවියෙන් නියෝගයක් නිකුත් විය. ඊට පසුව දා යාපනේ ජනතාවට උදයන් පුවත්පතේ දැකගත හැකි වූයේ නිවැරැදි කිරීමක් නොව "යාපනේ අධිකරණයට දේශපාලන ඇඟිලිගැසීම්" යන සිරස්‌තලය යටතේ ලිපියක් පළවීමයි. මේ ලිපියේ අන්තර්ගතයේ තිබුණේ උදයන් පුවත්පතේ හිමිකරු වන සරවණභවන් මහතා පාර්ලිමේන්තුවේදී කරන ලද කතාවක් අනුසාරයෙන් එම පුවත ලියා තිබුණු බවයි. සරවණභවන් මහතා දෙමළ සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. මින් පසු කයිට්‌ස් මහෙස්‌ත්‍රාත්වරයා එම කාරණය ඉන් ඔබ්බට ගෙන ගියේ නැත. පැමිණිලිකරුට සහනයක් ලැබුණෙත් නැත.
නමුත් යාපනේ නීතිඥවරයකු වන ඩී. රෙන්ගන් මහතා පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තාව කියවූ විට උදයන් පුවත්පතේ අදාළ ලිපියේ තිබුණු දේවල් සරවණභවන් මහතා පාර්ලිමේන්තුවේදී කියා තිබුණේ නැති බව පෙනුණි. ඒ අනුව යාපනය අධිකරණය ගැන උදයන් පුවත්පතේ තිබුණු ලිපියට පාර්ලිමේන්තු වරප්‍රසාද තත්ත්වයක් ලැබෙන්නේ නැත. මෙහිදී වැරැදි 2 ක් සිදුවිය. ඉන් පළමුවැන්න උදයන් පුවත්පත විසින් මහෙස්‌ත්‍රාත්වරයාගේ නියමය පරිදි අදාළ පැමිණිලිකරු සම්බන්ධයෙන් පළවූ දැ නිවැරැදි කරමින් වාර්තාවක් පළ නොකිරීමයි. දෙවැන්න වූයේ පාර්ලිමේන්තු වරප්‍රසාද තිබෙනවා යෑයි බොරුවට හුවා දක්‌වා අධිකරණය බිය වද්දන ආකාරයේ දැ එම පුවත්පතේ පළ කිරීමයි.
මේ අවස්‌ථාවේදී දෙමළ ජාතික සන්ධානය විසින් යාපනේ පහළ අධිකරණවලින් විනිසුරුවරුන්ට කරන දෙය කොටි සංවිධානය විසින් 1970 ගණන්වලදී දෙමළ පොලිස් නිලධාරීන්ට කරන ලද දෙයට බොහෝ සමානය. එකල ත්‍රස්‌තවාදීන් කළේ යාපනේ පොලිස් ස්‌ථානවල සිටි දෙමළ පොලිස් නිලධාරීන් ඉලක්‌ක කොට මරා දැමීමයි. එයින් කිසිදු දෙමළ පොලිස් නිලධාරියෙක් ත්‍රස්‌තවාදීන් පසුපස පන්නන්නේ නැති තත්ත්වයට වග බලා ගන්නා ලද අතර සියලු දෙමළ පොලිස් නිලධාරීන් දෙමළ ත්‍රස්‌තවාදීන්ගේ පදයට අවනත තත්ත්වයක් නිර්මාණය කරන ලදී. දෙමළ දෙමළ ජාතික සන්ධානය මේ අවස්‌ථාවේදී ගෙන තිබෙන ක්‍රියාමාර්ගය වන්නේ යාපනේ පහළ අධිකරණවල නිලධාරීන් උදයන් පුවත්පතත්, පාර්ලිමේන්තු වරප්‍රසාදත් භාවිත කොට බිය ගන්වා යාපනය තුළ තමාට ඕනෑම දෙයක් කළ හැකි තත්ත්වයක් නිර්මාණය කර ගැනීමයි. තමන්ගේ ප්‍රදේශයේ පහළ අධිකරණවල විනිසුරුවන් පළාතේ දේශපානඥයන්ට විරුද්ධව නොයැම කොතරම් ප්‍රයෝජනවත් දෙයක් දැයි දකුණේ දේශපාලනඥයන්ටද හොඳ අවබෝධයක් තිබිය යුතු කාරණයකි. කයිට්‌ස් මහෙස්‌ත්‍රාත් උසාවියේ පැමිණිලිකරුට සහනයක් නොලැබුණේ ඔහුට දෙමළ ජාතික සන්ධානයේ ආශිර්වාදය නොතිබුණ නිසාය. දැනටමත් යාපනයේ බලගතුම ජනමාධ්‍ය ආයතන පාලනය කරන්නේ දෙමළ ජාතික සන්ධානය විසින්ය. ඊළඟ පියවර වන්නේ පහළ අධිකරණය කිසිදාක දෙමළ ජාතික සන්ධානයට එරෙහිව නොයන තත්ත්වයක් ඇති කිරීමයි. එවැන්නක් සාක්‌ෂාත් කරගත් පසු යාපනේ ජනතාව නැවතත් අවි නැති කොටි සංවිධානයක අණසක යටතේ සිටියා වැනි තත්ත්වයක් නිර්මාණය වනු ඇත.
මෙම වසරේ ජුනි 18 වැනිදා යාපන මහෙස්‌ත්‍රාත් එම්. ගනේෂරාජා මහතා දෙමළ ජාතික සන්ධානයේ හිටපු මන්ත්‍රීවරයකු වන එස්. ගඡේන්ද්‍රන්ට අයත් සංවිධානයක් විසින් පැවැත්වීමට නියමිතව තිබුණු ප්‍රසිද්ධ රැලියකට එරෙහිව වාරණ නියෝගයක් නිකුත් කරන ලදී. පසුව පුවත්පත්වල පළවූ වාර්තාවකට අනුව දෙමළ ජාතික සන්ධානයේ එම්. ඒ. සුමන්තිරන් මන්ත්‍රීවරයා යාපනේ මහෙස්‌ත්‍රාත්වරයාගේ මේ නියෝගය විවේචනය කරමින් පාර්ලිමේන්තුවේදී කළ කථාවක උද්ඝෝෂණයක් නැවැත්විය හැක්‌කේ මහෙස්‌ත්‍රාත්වරයකුට නොව දිස්‌ත්‍රික් උසාවියකට පමණක් යෑයි පවසා තිබිණි. මේ අතරතුර ගඡේන්ද්‍රන් මහතාගේ සංවිධානය ඒ නියෝග නැවත සලකා බැලීමක් ඉල්ලා යාපනය මහෙස්‌ත්‍රාත්වරයාට මෝසමක් ඉදිරිපත් කරන ලද අතර එය විභාගයට ගනු ලැබුවේ ජුනි 21 වැනිදාය. මේ විභාගයේදී මහෙස්‌ත්‍රාත්වරයා සුමන්තිරන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී කර තිබුණා යෑයි කියෑවුණු එම කථාව සම්බන්ධයෙන් තමාගේ අදහස් ප්‍රකාශ කොට තිබිණි. ජුනි 27 වනදා මේ වාරණ නියෝගය ගැන අවසන් තීන්දුවක් දීමට නියමිත වූ අතර එදින සුමන්තිරන් මහතා ද උසාවියේ පෙනී සිට ඇත. එහිදී සුමන්තිරන් මහතා මහෙස්‌ත්‍රාත්වරයා විසින් අදාළ නඩුවේ විභාගය කෙරුණු දින තමා පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කළ අදහස් ගැන පළකොට තිබුණු මතයන් සම්බන්ධයෙන් විවාදයකට පැටලී ඇත. සුමන්තිරම්ගේ ස්‌ථාවරය වී තිබුණේ පාර්ලිමේන්තුවේදී පවසන ලද දෙයක් මහෙස්‌ත්‍රාත්වරයාට විවේචනය කිරීමට අයිතියක් නැති බවයි.
ඊට පසුවදා උදයන් පුවත්පත වාර්තා කොට සිටියේ යාපනය මහෙස්‌ත්‍රාත්වරයා සුමන්තිරන්ගෙන් සමාව ඉල්ලූ බවයි. යාපනය මහෙස්‌ත්‍රාත්වරයා මේ සම්බන්ධයෙන් උදයන් පුවත්පතේ ප්‍රධාන කතෘවරයාට උසාවියේ පෙනී සිටින මෙන් නියෝග කරන ලදී. ප්‍රධාන කතෘවරයා නොවූවත් වෙනත් කතුවරයකු උසාවියට එවන ලදී. මහෙස්‌ත්‍රාත්වරයා එම උදයන් කතුවරයාට පවසා සිටියේ ඔහු කිසිවකුගෙන් සමාව ඉල්ලුවේ නැති බවත් එසේ සමාව ඉල්ලා තිබුණත් පුවත්පත විසින් එය පළකිරීමට පෙර ඔහුගෙන් ඒ ගැන විමසා තිබිය යුතු බවත්ය.
උදයන් කතුවරයා පසුව ඇපෑල් උසාවියට පවසා සිටි පරිදි මහෙස්‌ත්‍රාත්වරයා ඔහුගෙන් සමාව ගත් බව සුමන්තිරන් මහතා ඔහුට කී බවත් එපමණක්‌ද නොව සුමන්තිරන් මහෙස්‌ත්‍රාත්වරයාගේ සමාව ඉල්ලීම පිළිගත් බවත් ඔහුට පැවැසූ බව කියා තිබිණි. එහිදී ප්‍රශ්නයකට ඇත්තේ මහෙස්‌ත්‍රාත්වරයාට පාර්ලිමේන්තු කථාවක් සම්බන්ධයෙන් ඔහු කී දෙයට සමාව ඉල්ලනවා නම් එය කළ යුතු වන්නේ පාර්ලිමේන්තුවෙන් මිස ඔහුගේ උසාවියේ නීතිඥවරයකු හැටියට පෙනී සිටින තනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගෙන් නොවේ. ඒ කෙසේ වෙතත් උදයන් පුවත්පතේ මේ කතුවරයා විවෘත උසාවියේ සමාව ඉල්ලා සිටි අතර මහෙස්‌ත්‍රාත්වරයාගේ තවත් නියෝගයක් වූයේ ඒ සමාව ඉල්ලීම ඔහුගේ පුවත්පතේද පළ කළ යුතු බවයි. නමුත් උදයන් පුවත්පත එය කළේ නැත. ඒ වෙනුවට ඔවුන් කළේ එම නඩුව ඇපැල් උසාවියට ගෙනයැමය. ඇපැල් උසාවිය මේ නඩුව ඇසීමට නියමිත වූ දිනයේදී මන්නාරම් මහෙස්‌ත්‍රාත් උසාවියේ සිද්ධිය නිසා උසාවියේ කටයුතු කල් ගියේය.
මන්නාරමේ සිද්ධියත් සමග සසඳන විට යාපනේ සිදුවීම්වල භයානක බව එක්‌වරම විද්‍යාමාන වන්නේ නැත. නමුත් මෙහිදී සිදුවන්නේ දෙමළ ජාතික සන්ධානය විසින් තමන්ට අවනත නොවන මහෙස්‌ත්‍රාත්වරුන්ට පාර්ලිමේන්තු වරප්‍රසාද භාවිතා කොට පාර්ලිමේන්තුව තුළදී බැණවැදී උදයන් පුවත්පත ලවා ඒ බැනුම් සියල්ලම යාපනේ පුරාම සන්නිවේදනය කිරීමයි. පාර්ලිමේන්තුවේ කළ කථාවක් නිසා මහෙස්‌ත්‍රාත්වරුන් එයට නිහඬව යටත් වෙයි. මේ ක්‍රියාදාමය දිගටම සිදුවීමට ඉඩ හැරිය හොත් ඇතිවන තත්ත්වය කුමක් දැයි කිසිවකුටත් සිතාගත හැකිද? යාපනේ සිදුවන මේ කූට ක්‍රියාදාමය හමුවේ මන්නාරමේ සිදුවූයේ කුඩා ළමයකුගේ දඟකාරකමක් වැනි දෙයක් බව පැහැදිලිය. මන්නාරමේ සිදුවූ දෙයින් අන්ධ වී යාපනයේ සිදුවෙමින් පවතින ඊට වඩා බෙහෙවින්ම භයානක ක්‍රියාදාමය කෙරෙහි මේ ආකාරයටම නීතිඥවරුන්ගේත් විනිසුරුවරුන්ගේත් සාමාන්‍ය මහජනතාවගේත් අවධානය යොමුවිය යුතු යෑයි අප මෙහිදී පවසා සිටිමු.
සී.ඒ. චන්ද්‍රප්‍රේම
http://www.divaina.com/2012/07/23/feature01.html
No comments:
Post a Comment
Please select Anonymous user to post comments, never leave your profile, true name with the comments.