භික්ෂු ශාසනයට එරෙහි බලවේග විටින්විට ක්‍රියාත්මක වෙයි. බුදුන් දවස ද දේවදත්තලා, අංගුලිමාලලා, චිංචිමානවිකාලා සිටියහ. ඔවුහු බුදුන්ට එරෙහිව නැගී සිටින්නට අසාර්ථක ලෙස වෙර දැරූහ.
භික්ෂූන් වහන්සේගේ පැවැත්මට එරෙහිව විටෙක විනයවර්ධන පිරිසක් බිහිවූහ. ඔවුහු දිවයිනේ පළින් පළ සිවුරු දරන්නේ නැතුව බණ කීහ. එහෙත් භික්ෂූන් වහන්සේට බරපතළ හානියක් කරන්නට තරම් විනයවර්ධනකාරයෝ ශක්තිමත් නොවූහ.
ඊටපසු තාපස නිකාය බිහිවිය. භික්ෂූන් වහන්සේට වඩා තාපස නිකායේ අය ශ්‍රද්ධාවත්, සිල්වත් පිරිසක් බවට කතා පැතිරිණි. තාපස නිකායේ අය අපිරිසුදු සිවුරු දැරූහ. ඔවුහු පිරිසුදුකමට ප්‍රධාන තැනක් නොදුන්හ. දෑස් පියා සංවර ගමනින් පිණ්ඩපාතයේ වැඩියහ. උපාසකම්මලා බත් හට්ටි පිටින් දන් බෙදන්නට පාර දෙපස පෙළ ගැසුණාහ. තාපස නිකායේ අය සෘද්ධි බලයෙන් උඩ සිටින බව ප්‍රචාරය විය. ඒ අනුව අපේ උපාසකම්මලා පුවක් ගස් උඩ, පොල් කරටි දිහා දෑස් අයාගෙන බලා සිටියහ. ගසෙන් ගසට පනින වඳුරන් ඉඳහිට දැක්කා මිස සෘද්ධි බලයෙන් උඩ සිටින තාපසයෝ නොදුටහ.
ගමේ පන්සලේ හාමුදුරුවරු මේ කිසි දෙයකින් කලබල නොවූහ. සුපුරුදු පරිදි පන්සලට වී ආවතේව කරමින් වැඩ විසූහ. තාපස නිකාය ක්‍රමයෙන් අතුරුදන් විය. ගමේ පන්සලේ හාමුදුරුවරු සුපුරුදු පරිදි දනට, බණට, පිරිතට වැඩියහ. පාංශූකූලයට පන්සලේ හාමුදුරුවන් නැතුවම බැරි විය. පොඩි එකාට බත් කවන – අකුරු කියවන – දවසට පිරිත් ටිකක් කියා පිරිත් නූලක් බඳින්නට ගමේ පන්සලේ හාමුදුරුවෝ හැමවිටම ගෙදරට වැඩියහ. බඩදරු අම්මලාට පිරිත් ටික කීවේද පන්සලේ හාමුදුරුවරුන්මය.
සියල්ල මෙසේ වෙද්දී දේශපාලකයෝ විවිධාකාරයෙන් භික්ෂූන් වහන්සේට ගැරහූහ. හාමුදුරුවන්ගේ තට්ටයේ තාර ගාන්නට කතා කළහ. රටේ දේශපාලන ගමන් මඟ වෙනස් කරන්නට සිවුරු දරාගත් භික්ෂු වෙස් ගත්තන්ට ගිනි අවි අතට දුන්හ. එදා ජාතිවාදය නොව ජාති හිතෛෂී පෙළපාළිවලට සහභාගී වූ දඹරාවේ රතනසාර හිමියන්ට වෙඩි තබා මරා දැමුවේද දේශපාලන අණටය.
1956 සිට අද දක්වාම භික්ෂූන් වහන්සේ ජාතික මෙහෙවරක් ලෙස සලකා දේශපාලනයේ නියැළුණහ. අපට මෙහිදී සිහිපත් වන්නේ දේශපාලන වේදිකාව බැබළ වූ තල්පාවල ශීලවංශ, බඹරැන්දේ සිරිසීවලී, කොටගම වාචීස්සර, හෙට්ටිමුල්ලේ වජිරබුද්ධි, යටිදැරියේ වජිරබුද්ධ, දැවමොට්ටාවේ අමරවංශ, මීටියාගොඩ ගුණරතන වැනි සංඝරත්නයයි. දේශපාලන වේදිකාවට වැඩම කරවා ඡන්දය දිනුවාට පසු මහා සංඝරත්නය අමතක කරන දේශපාලනඥයෝ ද නැත්තේ නොවෙති.
භික්ෂූන් වහන්සේ අප්‍රසාදයට ලක් වූ බවත්, උන්වහන්සේ පිරිහී ඇති බවත් කියන බෞද්ධ මහා උපාසකයකු ගැන යළිත් අසන්නට ලැබේ. ඔහුගේ අරමුණ වන්නේ පාර්ලිමේන්තුවට පෞද්ගලික යෝජනාවක් ඉදිරිපත් කොට භික්ෂූන් වහන්සේට පාර්ලිමේන්තුවත් දේශපාලනයත් තහනම් කිරීමය. ඒ සඳහා මෙම එජාප මන්ත්‍රීවරයා දැන් සටන ආරම්භ කර තිබේ.
ඒ මන්ත්‍රීවරයාගේ නායකයා ද මන්ත්‍රී හාමුදුරු නමකට ලොකු විහිළුවක් කළේ සුපේශල - ශික්ෂාකාමී උපාසකයකු ලෙසිනි. උන්වහන්සේට දී තිබුණ සැප කාර් එකේ රවුමක් ගිය එජාප නායකයා අරි අටඟි මඟේ යන්නට බෙන්ස් කාර් අවශ්‍යමදැයි ඇසුවේය. එදා එසේ ජාතික හෙළ උරුමයේ හාමුදුරුවන්ට අපහාස කළ දේශපාලන නායකයා අදත් පක්ෂය තුළ නැගිට ගත නොහැකිව දඟලන්නේය. භික්ෂූන්ට දේශපාලනයත් පාර්ලිමේන්තුවත් තහනම් කරන්නට පෞද්ගලික යෝජනාවක් ගෙන එන්නේ හොඳ චේතනාවකින් නොවිය හැකිය. භික්ෂූන් වහන්සේට එරෙහිව දඟලන දැඟලිල්ල කොතැනින් කෙළවර වේදැයි ඔහුවත් දන්නේ නැත. කුමක් වේදැයි අපි බලා සිටිමු.
src: http://www.dinamina.lk/2012/06/08/_art.asp?fn=f1206081
No comments:
Post a Comment
Please select Anonymous user to post comments, never leave your profile, true name with the comments.