Travel to India - දඹදිව යන්නන් ගැනයි



ඉන්දියාවට යන ශ්‍රී ලාංකික දේශපාලකයන් හා
වැසියන්ගේ ආරක්‍ෂාව සහතික කිරීම එරට වගකීමක්‌
ජාතික හෙළ උරුමය කියයි

ඉන්දියාවට යන ශ්‍රී ලාංකික මැති ඇමැතිවරුන්ගේ, දේශපාලනඥයන්ගේ සහ පුරවැසියන්ගේ ආරක්‍ෂාව සහතික කිරීම ඉන්දියාවේ වගකීමක්‌ බවත් එය ඉටුකළ නොහැකි නම් වහා ශ්‍රී ලංකා රජයට එය දැනුම්දීමට ඉන්දියාව කටයුතු කළයුතු බවත් ජාතික හෙළ උරුමය නිවේදනයක්‌ නිකුත් කරමින් කියා සිටී.

නිකුත් කරන ලද එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන් කර ඇත.

සුළු අපනයන බෝග ප්‍රවර්ධන අමාත්‍ය රෙජිනෝල්ඩ් කුරේ මහතා පසුගියදා තම විෂය පථයට අදාළ කටයුත්තක්‌ සඳහා තමිල්නාඩුවේ සංචාරයකට ගිය අවස්‌ථාවේ තමිල්නාඩු එල්ටීටීඊ හිතවාදීන්ගේ දැඩි විරෝධය නිසා ප්‍රාන්ත ආරක්‍ෂක අංශ විසින් ආපසු හරවා එවා ඇත. දැනගන්නට ලැබී ඇති ආකාරයට ප්‍රාන්ත ආරක්‍ෂක අංශවලට ඇමැතිවරයාට ආරක්‍ෂාව සැපයිය නොහැකි නිසා ඔහු හරවා එවා ඇත. මෙය තමිල්නාඩුව තුළ සිදුවූ පළමු සිදුවීම නොවේ.

තමිල්නාඩුවේ සංචාරය කරන ශ්‍රී ලංකා ආණ්‌ඩුවේ මැති ඇමැතිවරුන්ට, දේශපාලනඥයන්ට, නිලධාරීන්ට, රාජතාන්ත්‍රිකයන්ට හා ශ්‍රී ලංකා පුරවැසියන්ට දිගින් දිගටම විරෝධය පෑම, අඩම්තේට්‌ටම් කිරීම හා ප්‍රචණ්‌ඩත්වය මුදාහැරීම දැන් ප්‍රවණතාවක්‌ බවට පත්ව ඇත. මේ සම්බන්ධව ඉන්දීය මධ්‍යම රජයේ අවධානය ප්‍රමාණවත් ලෙස යොමු වී ඇති බවක්‌ද පෙනෙන්නට නැත. අප දන්නා ආකාරයට තමිල්නාඩුව ඉන්දියාවේ කොටසක්‌ මිස වෙනම රටක්‌ නොවේ. එය ඉන්දියාවේ මධ්‍යම රජයේ පාලනයට යටත් ප්‍රාන්තයකි. ඉන්දියාවට යන ශ්‍රී ලාංකික මැති ඇමැතිවරුන්ගේ, දේශපාලනඥයන්ගේ, පුරවැසියන්ගේ ආරක්‍ෂාව සහතික කරලීම ඉන්දියාවේ වගකීමකි. එය ඉටු කළ නොහැකි නම් ඉන්දියාව තම වගකීම පැහැර හැරීමකි. තම රටේ අසමත් බව පෙන්වීමකි. තම රටට එන ශ්‍රී ලාංකික පුරවැසියන් පිළිබඳව වගකීමක්‌ ඉන්දියාවට නැතිනම් නොවලහා එය ශ්‍රී ලංකා රජයට දැනුම්දිය යුතුය.

එමෙන්ම ශ්‍රී ලංකා රජයද මේ පිළිබඳව ඉන්දියානු රජයෙන් රාජ්‍යතාන්ත්‍රික විමසීමක්‌ කළ යුතුය. විශේෂයෙන් තවදුරටත් ඉන්දීය මධ්‍යම රජය පාලනය යටතේ පවතීද නැතිනම් ඊළාම්වාදීන්ගේ, කොටි හිතවාදීන්ගේ, දෙමළ බෙදුම්වාදීන්ගේ පාලනය යටතේ පවතීද යන්න පිළිබඳව විමසා තහවුරු කරගත යුතුය. එය එසේ නම් වහාම ශ්‍රී ලංකා රජය ශ්‍රී ලංකාවේ පුරවැසියන්ටත්, නිලධාරීන්ටත්, දේශපාලනඥයන්ටත්, මැති ඇමැතිවරුන්ටත්, බෞද්ධ බැතිමතුන්ටත් සංචාරය නොකළ යුතු අනාරක්‍ෂිත අවදානම් සහිත රටක්‌ ලෙස ඉන්දියාව නම් කළ යුතුය.



http://www.divaina.com/2012/06/12/news19.html

No comments:

Post a Comment

Please select Anonymous user to post comments, never leave your profile, true name with the comments.